තුන්වන ලොව වෙනස් කල බලවතා

 තුන්වන ලොව වෙනස් කල  බලවතා



    සංවර්ධනය වන්නා වූ රටවල් හි සන්නිවේදනය මෙහෙයුවේ සමාජ වෙනස්වීමක් ඇති කරන්නට ය. සමාජ වෙනස්වීම සමග නව නිදහස් වාදය, ස්වෛරීත්වය, ස්වාධීනත්වය, වහල් බවෙන් නිදහස් වීම් ආදිය මෙහිදී සමාජ වෙනස් වෙනස්වීම් වශයෙන් සිදුවිය. 

    සංවර්ධන සන්නිවේදනය නමැති සංකල්පය තුන්වන ලෝකයට හඳුන්වාදුන් බටහිර රටවල් ප්‍රමුඛ සුසමාදර්ශය තුළින් අපේක්ෂා කළේ ඒක මාර්ගික ලෙස තම අදහස් දැනුම සහ තාක්ෂණයන් තුන්වන ලෝකය වෙත ගලා යෑමට සැලැස්වීම ය. ඒ සඳහා ඔවුන් විශ්වාස කළේ ගුවන් විදුලිය ප්‍රමුඛ ජනමාධ්‍ය ලෙස යොදා ගැනීමයි. ඔවුන්ගේ අපේක්ෂාව වූයේ තුන්වන ලෝකයේ ජනතාව වෙතට සංවර්ධනය පොම්ප කිරීමකි. ජනතාව සංවර්ධනය වෙතට දක්කා ගෙන යෑමකි. මෙය අසාර්ථක විය.

    ලතින් ඇමරිකාව තුළ බටහිර මතවාදයක් ඔස්සේ නවීකරණයන් කිරීමේ ප්‍රයත්න අසාර්ථක වීමත් සමඟ ලතින් ඇමරිකානු විද්වතුන් විකල්ප මතවාදය හඳුන්වා දෙන්නේ බටහිර මතවාදයට විකල්පයක් වශයෙනි. එහිදී ඊට අදාළ වන සන්නිවේදන ක්‍රියාදාමය උඩු යටිකුරු වී පරිවර්තනයකට ලක් විය. සංවර්ධනය සඳහා සන්නිවේදනය නම් වූ සංකල්පය වැඩෙන්නේ මේ සුසමාදර්ශ මාරුවත් සමඟ ය.

    එහිදී සන්නිවේදනය, සංවර්ධනය බෙදා හරින මාධ්‍යයක් නොව සංවර්ධනය ගොඩනගන සංවර්ධන ක්‍රියාවලියේ ම කොටසක් ලෙස හඳුනා ගනී. එය බාහිරින් සිට ක්‍රියාත්මක වන්නක් නොව ක්‍රියාවලිය තුළ ම ගොඩ නැගෙන්නකි. බටහිර මතවාදයේ දී මෙන් සන්නිවේදනය තොරතුරු ඉහළ සිට පහළට ගෙන යන ඒක මාර්ගික ක්‍රියාවලියක් නොව පහළ සිට ඉහළටත් තිරස් වත් තොරතුරු ගමන් කරවන ද්විමාර්ගික බහු මාර්ගයක ක්‍රියාවලියක් බවට පත් වෙයි.

    එපමණක් නොව සන්නිවේදනය ජනතාව දක්කා ගෙනයෑමට නොව නොව සජීවීකරණය සඳහා යොදා ගන්නා ක්‍රියාවලියකි. එහි දී ඒක මාර්ගයක ජනමාධ්‍ය සන්නිවේදනය පමණක් නොව පුද්ගලාන්තර සන්නිවේදන ක්‍රම වලට ද වැඩි නැඹුරුවක් දක්වයි ජනතාවට වර්ධනය වී තිබූ සාම්ප්‍රදායික සන්නිවේදන ක්‍රම කෙරෙහි ද අවධානය යොමු කෙරිණි සංවර්ධන ජන ජීවිතයට බාහිරින් අමුණන ක්‍රියාදාමයක් නොව ජනතාවගේ මානව හැකියාවන් වටිනාකම් විභවතාවන් දල්වමින් සජීවීකරණය කරමින් මානව ශක්තියෙන් බලගැන්වීමේ ක්‍රියාදාමයකි.

    සංවර්ධිත රටවල්වල සන්නිවේදනයේ ප්‍රධාන චැනලය වන්නේ ජනමාධ්‍ය යි. ජනමාධ්‍ය මධ්‍යගතව සංවිධානය කරනු ලබන ඒවා වන අතර විශාල ජන සංඛ්‍යාවක් ඉලක්ක කරගත් ඒවා ද වේ. පණිවිඩ ගලා යන්නේ ගුවන් විදුලිය, රූපවාහිනිය සහ ප්‍රවෘත්ති පත්‍ර ඇතුළත් ජාලයක් තුළිනි. සංවර්ධනය වෙමින් පවතින රටවල්වල අන්තර් පුද්ගල චැනලය භාවිතා වේ. මෙය විමධ්‍යගත වූවකි. මිනිසුන් එකිනෙකා සමඟ කථා කරන විටදී හෝ එකිනෙකාට ලියන විටදී හෝ පණිවිඩ ගලා යෑම සිදු වේ. අන්තර් පුද්ගල සන්නිවේදනයේ සාමාන්‍ය පසුබිම වනුයේ කණ්ඩායම් රැස්වීම් සාකච්ඡා සහ අවිධිමත්  පුහුණුව සහ නිරූපණය යි. ග්‍රාමීය සංවර්ධනයේදී අන්තර් පුද්ගල සන්නිවේදනය ප්‍රධාන අංග වනුයේ ග්‍රාමීය මට්ටමේ ව්‍යාප්ති නිලධාරීන්, ජනමත නායකයින් සහ දේශපාලන පක්ෂවලට සම්බන්ධ බලවතුන් ය.

සංවර්ධනය වෙමින් පවතින රටවල පැරණිම සහ සුලබතම ග්‍රාමීය සංවර්ධන සන්නිවේදන ප්‍රවේශය වනුයේ කෘෂිකර්මය, ගෘහ ආර්ථිකය සහ මහජන සෞඛ්‍ය පිළිබඳ ප්‍රයෝජනවත් මෙන්ම ප්‍රායෝගික තොරතුරු බෙදාහැරීම සඳහා වන ව්‍යාප්ති සේවයයි. මෙම  ප්‍රවේශයට පදනම් වනුයේ, බටහිරින්, විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ ඉල්ලාගත් සංකල්පයන් ය. මෙම ප්‍රවේශයට මූලික වන තාර්කිකත්වය වනුයේ, ග්‍රාමීය පවුල් ඒකකවල නිෂ්පාදනය සහ සුභසිද්ධිය දියුණු කර ගැනීමට උපකාරී වීම සඳහා ඔවුන් වෙත ව්‍යාප්ත කළ හැකි, විද්‍යාත්මක හා තාක්ෂණික පර්යේෂණ මගින් ලබා ගත් විශාල ප්‍රායෝගික ඥාන සම්භාරයක් තිබෙන බවයි. ග්‍රාමීය පවුල් මෙම තොරතුරු ලබාගැනීමට උනන්දුවක් දක්වන බව නව තොරතුරු ප්‍රයෝජනවත් ක්‍රියාකාරකම්වලට භාවිත කිරීම සඳහා අවශ්‍ය ආධාරක සම්පත් ඔවුනට ඇති බව හෝ ලබාගත හැකි බව මෙම ප්‍රවේශයට පාදක වන උපකල්පනයන් වේ.

සාමාන්‍ය වශයෙන් සංවර්ධනය වෙමින් පවත්නා රටවල ව්‍යාප්ති සේවා සපයනු ලබන්නේ රජයේ මධ්‍යම පරිපාලන සංවිධානයෙහි විවිධ දෙපාර්තමේන්තු මඟිනි. වෘත්තීයමය පරිපාලකයෝ විශේෂඥයෝ සහ කාර්මිකයෝ මෙම සේවා සංවිධානය කරති. එක් එක් දෙපාර්තමේන්තුව තමන්ගේ එක් විශේෂ කාර්යයක් භාරව සිටින නියෝජිතයන් මඟින් මෙම සේවා ග්‍රාමීය ජනගහනය වෙත ව්‍යාප්ත කරයි. ව්‍යාප්ති නියෝජිතයෝ ගම්වලට ගොස් දියුණු කරන ලද ව්‍යවහාරයන් ගේ ආදර්ශන පිළියෙල කරමින් පවුල් ඒකක සමග සම්බන්ධතා පවත්වති. බෝග, පශු සම්පත්, මහජන සෞඛ්‍යය සහ සනීපාරක්ෂාව ආදීයෙහි තත්ත්වය පිළිබඳ වාර්තා ද ඔවුහු තම දෙපාර්තමේන්තුවලට යවති. ජල ගැලීම්, නියඟ සහ වසංගත රෝග ආදිය හේතුවෙන් තත්ත්වය උග්‍ර අතට හැරේ නම්, ව්‍යාප්ති නියෝජිතයා විසින් හදිසි සහ සහන පියවර ගැනීමෙහි යෙදේ.

සමාජ වෙනස්වීම් යටතේ සමාජ සංවිධානය යනු අන්තර් සම්බන්ධිත සමස්තයකි. එහි ඕනෑම කොටසක සිදුකෙරෙන වෙනසක් අනෙකුත් කොටස්වලට ද දැනේ. එසේම මිනිස් චර්යාවෙහි ඕනෑම අංගයක සිදුවන වෙනසක් ඔහුගේ චර්යාවෙහි අනෙකුත් අංග තුළින් පිළිබිඹු වෙයි. එම නිසා සමාජ විපරිණාමය ගැන සිතන විට දී අප ඒ ගැන සිතිය යුත්තේ එය සමස්ත සමාජය තුළම සහ සමස්ත මිනිසා තුළ ම සිදුකරන විපරිණාමයට අදාලවය.

නිදර්ශන කිහිපයක් ගනිමු. 

මාගරට් මීඞ් ව්‍යක්ත ලෙස පවසන පරිදි, 

බොහෝ මිනිසුන් සම්බන්ධයෙන් සෞඛ්‍ය යනු විශ්වය සමග පවත්නා  සුසංයෝගයේ ප්‍රකාශනයයි. ඇත්ත වශයෙන්ම, ලෝකයේ බොහෝ කොටස් වල මිනිසා ගැන සිතනු ලබන්නේ තමන්ගේ පරිසරය සමග අඛණ්ඩව සම්බන්ධිත අයකු ලෙසට ය. ඔහු සෞඛ්‍ය සම්පන්න වීමට නම් ඔහුගේ පරිසරය සෞඛ්‍ය සම්පන්න විය යුතු ය. එසේම ඔහුගේ ක්‍රියා ඔහුගේ මුළු පරිසරය කෙරෙහිම බලපායි. එමනිසා සෞඛ්‍ය පිළිවෙත්වල වෙනසක් ඇති කරන විට ආගම පිළිගනු ලැබීමට නම් එහි ද වෙනසක් සිදුවිය යුතු ය. කෘමි පලිබෝධකයින් විනාශ කිරීම වැනි පැහැදිලි සුළු කරුණක් නිසා මුළු ගමක් ම එක් වැසියකුට විරුද්ධව නැගී සිටිය හැකි ය. මක්නිසාදයත් එවැනි ව්‍යවහාරයක් පිළිපැදීමෙන් ඔහු ප්‍රාණඝාතයෙන් වැළකී සිටීමේ ශික්ෂා පදය උල්ලංඝණය කරන හෙයිනි. 

ආර්ථික සහ සමාජ සංවර්ධනයේදී විපරිණාමය බොහෝවිට ඇරඹෙන්නෙ කෘෂිකර්මයෙනි. මෙම ප්‍රදේශය තුළ සංස්කෘතික බැඳියාව විශේෂයෙන්ම ප්‍රබල ය. ඊජිප්තුවෙ ග්‍රාමීය ප්‍රතිසංස්කරණය පිළිබඳ එක් ප්‍රධාන පෙළේ විද්වතෙකු පවසන අන්දමට ඊජිප්තු ජාතිකයන් ගේ කෘෂිකර්මය සියවස් ගණන් පැරැණි සම්ප්‍රදායක් තුළ ගැඹුරට මුල් බැසගත් අතිශයින් අනුකලනය වුණු ජීවන ක්‍රමයකි. පෞද්ගලික භාවාත්මක ප්‍රකාශනය, පවුල් බැඳීම්, ආගමික, සමාජ සබඳතා සහ දැඩිව ස්ථාපිත චර්යා පුරුදු ඊට සම්බන්ධ වෙයි. බොහෝ සම්ප්‍රදායික සංස්කෘතීන් තුළ කෘෂිකර්මය යනු හුදු ජීවනෝපාය මාර්ගයක් නොව සම්පූර්ණ ජීවන රටාවකි. ආගම සහ කෘෂිකර්මය බෙදී වෙන් වී නොමැතිය. එම නිසා ප්‍රායෝගික වශයෙන් මෙයින් අදහස් වනුයේ නිර්දේශ කරනු ලබන ඕනෑම කෘෂිකාර්මික නවීකරණයක් ගැන සලකා බැලීම කළ යුත්තේ එයින් අපේක්ෂිත ඵලදායිත්වය ට අදාලව පමණක් නොව ගොවියාගේ ජීවිතයේ අනෙකුත් අංශයන්ට එයින් සිදුවියහැකි දෙයටත් එම නවීකරණයට ප්‍රතිරෝධ දැක්වීමට ඔහු පෙළඹවිය හැකි ඇදහීම් හා සාරධර්මවලටත් අදාල බවය.

සමාජ විපරිණාමය සංකීර්ණ වීමට තව ද හේතුවක් නම් සමූහ සම්බන්ධතා සෑම විටම සැලකිල්ලට ගත යුතු වීමයි. වෙනස් විය යුතුව ඇත්තේ පුද්ගලයන් ය. එහෙත් මෙම පුද්ගලයන් වැඩ කරන්නෙත් ක්‍රීඩා කරන්නේ තමන්ගේම ඉතාම අනුස්මරණීය අත්දැකීම් තුළින් වින්දනය ලබන්නේත් කණ්ඩායම් වශයෙනි. ඔවුන් දරන ඇදහිලි සහ සාරධර්මයන්ගෙන් බොහොමයක් පොදුවේ දරනු ලබන සහ අන්‍යෝන්‍ය වශයෙන් ආරක්ෂණය කරනු ලබන සමූහ ප්‍රතිමානයන් ය. තනි පුද්ගලයෙකුට ප්‍රබල සාමූහික ප්‍රතිමානකට එරෙහිව නැගී සිටීම ඉතා දුෂ්කරය. මන්ද යත් එවැනි අවස්ථාවකදී මුළු කණ්ඩායම ම විපරිණාමය විය යුතු ය. නැතිනම් ඔහු නව කණ්ඩායමක් සොයා ගත යුතු වන හෙයිනි. 

ප්‍රායෝගිකව මෙයින් අදහස් වන්නේ කණ්ඩායමක ප්‍රතිමානයන්ට එරෙහි නොවේ නම් සමාජ විපරිණාමය බොහෝ පහසු වන බව ය. එහෙත් සියලුම සමාජවල පාහේ කණ්ඩායම් ප්‍රතිමාන යනු නවීකරණයට එරෙහි ඒවාය. එවැනි ප්‍රතිමාණයන් අතරින් කිහිපයක් නම්, දෛවවාදයට සහ ස්වභාව ධර්මයට එරෙහිව මිනිසාට කිසිවක් කිරීමට නොහැකියාව පිළිබඳ ආගමික විශ්වාසය වගාවට හෝ සෞඛ්‍යයට හෝ කෙතරම් හානිකර වුව ද පණ ඇති සතුන් මැරීමේ තහංචිය, බර වැඩි කිරීම පහත් කර සැලකීම සහ විවාහ උත්සව සහ දැවැදි සඳහා දැඩි ලෙස ණය වීමේ චාරිත්‍රය ආදිය යි. නවීකරණ ක්‍රියාවලියේ දී මෙබඳු ඇතැම් ප්‍රතිමාන සමග ගැටීමෙන් වැළකීම නොකළ හැක්කකි. ප්‍රශ්නය නම් ඒවාට මුහුණ දෙන්නේ කෙසේද යන්නය.

1940 දශකයේ මුල් කාලයේ දී කර්ට් ලෙවින් ඉහතදී පිළිගත නොහැකිව තිබූ දේවල් කිරීමට මිනිසුන් පෙළඹවීම පිළිබඳව අභියෝගාත්මක අත්හදාබැලීම් කිහිපයක් සිදු කළේය. උදාහරණ වශයෙන් මාස හිඟයක් පැවති කාලයක දී ඉන් ඉහත ජනයාට ප්‍රිය ව නො තිබුණු කැපු මස් වර්ග පිළියෙල කිරීමට ගෘහණියන් පෙළඹවීම සඳහා ඔහු උත්සාහ ගත්තේය.ඔවුනට දේශන පැවැත්වීමෙන් හෝ ලිපියක් කියවීමට සැලැස්වීමෙන් හෝ එතරම් ඵලයක් නොලැබෙන බව ඔහුට පෙනී ගියේ ය. එහෙත් සාකච්ඡා කිරීම සඳහා ඔවුනට අවස්ථාවක් දුන් පසු බොහෝ විට මුලු කණ්ඩායමම අලුත් මස් වර්ගය රසවිඳ බැලීමට තීරණය කළහ. තම සමානයෙන් ගේ සමාජයීය පිටිවහල ලැබුණු පසු එනම් සෑම දෙනකු ම එසේ කරන බවත් ඒ නිසාම එය සම්මත සමාජ ප්‍රතිමාණයක් බවත් හැඟුණු විට ගැහැණුන්ගෙන් බොහෝ දෙනෙක් නුපුරුදු නව මාංසය පරිභෝජනය කළහ. මෙවැනි අත්හදා බැලීම් රාශියක් සිදු විය.


එපමණක් නොවේ.

සිල්වියෝ වයිස්බෝඞ් සංවර්ධනය සඳහා සන්නිවේදනය ප්‍රායෝගික භාවය සම්බන්ධයෙන් ප්‍රධාන අදහස් 5 ක් හඳුනාගෙන තිබේ.

  1. කේන්ද්‍රගත බලය ශක්තිමත් කිරීම පුද්ගලයන් හා ප්‍රජාවන් දැනුම අත්පත් කර ගැනීම හා ගැටලු සම්පාදනය කිරීම. 
  2. ඉහළ පහළ හා පහළ ප්‍රවේශය එකාබද්ද කිරීම. 
  3. සන්නිවේදන මෙවලම් භාවිත කිරීම. 
  4. පුද්ගලාන්තර සන්නිවේදනය හා ජන සන්නිවේදන අතර සමබරතාව නිර්මාණය කිරීම. 
  5. පුද්ගල හා සමාජ හැසිරීම් වෙනස් කිරීමේ වැඩසටහන් වලට ප්‍රමුඛතාව දීම.


ශ්‍රීනිවාස් මෙල්කොට් සංවර්ධනය සඳහා සන්නිවේදනය හඳුන්වා දෙන්නේ,


  1. විචාරාත්මක සිද්ධාන්ත මගින් මානව සමාජ ගැටලුවලට විසඳුම් සැපයීම. 
  2. මිනිසාගේ ඉතිහාසයේ ක්‍රියාවලියක් බව වටහා ගැනීම. 
  3. ආගමික බැඳීම්වලින් තුන්වන ලෝකයේ විමුක්තිය ලබාගැනීම.
  4. සන්නිවේදනය සහ සමාජ ව්‍යූහය පිළිබඳ සම්බන්ධතා වැඩි දියුණු කිරීම. 
  5. තුන්වන ලෝකයේ සංවර්ධනය සඳහා සන්නිවේදනය වැඩි දියුණු කර කරගැනීම පිණිස වූ යෝජනා හා ඒවා සිදු කළ හැක්කේ කෙසේ ද යන ජාතික ප්‍රශ්න ඇසුරෙන් පමණක් අවශ්‍යතා තහවුරු කර ගැනීමට නොහැකි බව වටහා ගැනීමයි.


සංවර්ධන සන්නිවේදනය පිළිබඳ චීන ආකෘතිය

මෙයට පදනම් වී ඇත්තේ මාක්ස්වාදයයි. ඒ අනුව සමාජය විග්‍රහ කරන මූලික ප්‍රවේශයන් මෙසේ ය. මේ අනුව මහජන චීනයේ සංවර්ධන ක්‍රියාදාමයේ දී නිරන්තර ව මහජන සහභාගිත්වය ලබා ගැනිණ. ඔවුන්ගේ උදාන පාඨය වූයේ මහජනයාගෙන් මහජනයාට යන්නයි. මේ අනුව මහජන චීනයේ නායක, මා ඕ සේතුං විසින් සංවර්ධන කාර්යයේ දී මහජනයා හා සම්බන්ධ අංග හතරක් කෙරෙහි අවධානය යොමු කළේ ය.

ප්‍රජානනය: විවිධ සේවා ශ්‍රේණී, ඒ ඒ ප්‍රදේශවල වෙසෙන පොදු ජනතාව සමග එකට සම්බන්ධ වී සංවර්ධනය සඳහා ඒ ඒ ප්‍රදේශවල ප්‍රමුඛත්වය ලැබිය යුතු ප්‍රශ්න තෝරා බේරා ගැනීම.


සාරාංශකරණය: පොදු ජනතාව සමග එසේ සවිස්තර ව සාකච්ඡාවට භාජනය කරනු ලබන ප්‍රශ්නවල සාරාංශය ප්‍රධාන පාලක පක්ෂය වෙත ඉදිරිපත් කිරීම.


ප්‍රාමාණීකරණය: පාලක පක්ෂය වෙතට මෙසේ පමුණුවන ලද ප්‍රශ්න පිළිබඳ විස්තර තව දුරටත් ගැඹුරු ලෙස විමර්ශනයට භාජනය කොට ක්‍රියාවට නැංවීමට අවශ්‍ය අනුමැතිය ලබා දීම.


ක්‍රියාවට පරිවර්තනය කිරීම: මෙසේ පාලක පක්ෂයේ අනුමැතිය ලද ක්‍රියා මාර්ග ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාවට නැංවීම.

චීන සංවර්ධන සන්නිවේදන ආකෘතිය මගින් සංවර්ධනය පිළිබඳ ව සලකා බලනු ලැබුවේ දළ ජාතික නිෂ්පාදිතය වැඩි වීම පමණක් නොවේ. ඒ සමග තවත් නිර්නායක 5ක් කෙරෙහි අවධානය යොමු කරනු ලැබිණි.

නිලධාරි පැලැන්තියේ බලය පැතිරවීම අවම කිරීම

සදාචාරය තහවුරු කිරීම

කාර්මීකරණයට වහල් නොවීම

ජනතාව හා රජය අතර පරතරය අඩු කොට සම්බන්ධතා වර්ධනය කිරීම

කුඩා කණ්ඩායම්වලට මුල් තැනක් දීම

 චීන සංවර්ධන සන්නිවේදන ආකෘතියේ අරමුණු කිහිපයකි.

ජාතික සංවර්ධනයට අදාළ සැලැස්ම ක්‍රියාවට නැංවීම

ජාතික සංවර්ධන ප්‍රතිපත්ති පුද්ගලයා වෙත ගෙන යාම

පොදු සාමූහික විඥානයක් ගොඩ නැංවීම


    සංවර්ධන සන්නිවේදනය පිළිබඳ චීන ආකෘතිය මගින් දැක්වෙන්නේ කුඩා කණ්ඩායම් වශයෙන් සංවර්ධන කටයුතුවලට සම්බන්ධ වන ජනතාව අවසානයේ රජය සමග බැඳී සිටින බව ය. එසේ ම තම ප්‍රාදේශීය මට්ටමේ තීරණ ගැනීමේ කාර්යයන්ට සම්බන්ධ වීමටත්, ඒ මගින් සක්‍රීය ලෙස සංවර්ධන සැලසුම් සකස් කර ක්‍රියාත්මක කරන්නටත් මේ නිසා අවකාශය සැලසේ. මේ මගින් ජනතාවගේ අදහස්වලට වටිනා ස්ථානයක් ලැබෙන අතර ම, ඉහළ සිට පහළට සැලසුම් සම්පාදනය වෙනුවට පහළ සිට ඉහළට සැලසුම් සම්පාදනය සිදු වේ. සන්නිවේදන ක්‍රියාදාමය ක්‍රියාත්මක කරනුයේ මෙම ක්‍රියාවලිය සාර්ථක කර ගන්නට අවශ්‍ය තොරතුරු හුවමාරුව සඳහා ය. මේ අනුව විවිධ වෙනස්කම් සහිත වූ මහජන චීනයේ විවිධ ප්‍රදේශවල ජීවත් වන ජනතාව ජාතික වශයෙන් මහජන චීනය ගොඩ නැංවීම සඳහා වූ දැවැන්ත ජාතික සංවර්ධන වැඩ සටහනක කොටස්කරුවෝ බවට පත් වූහ.

සංවර්ධනය සඳහා සන්නිවේදනය ඉතා පැහැදිලිවම නිශ්චිතවම ආන්තිකරණයට ලක්වූ ජනතාව බල ගැන්වීම සඳහා යොදා ගනු ලබන්නකි. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මෙම නව සංවර්ධනය සදහා සංනිවේදනය ප්‍රවණතාව නව ප්‍රවේශ හතරක් ඔස්සේ විග්‍රහ කර දැක්වීමට ඉදිරිපත් වී තිබේ.

හැසිරීම හෙවත් චර්යාමය වෙනස්කම් සඳහා  සන්නිවේදනය 

සමාජ පරිවර්තනයක් සඳහා සන්නිවේදනය 

නියාමනය සඳහා සන්නිවේදනය 

පාරිසරික සමතුලිතතාව සඳහා සන්නිවේදනය  යනුවෙනි.

මේ අනුව සංවර්ධනය සඳහා වූ සන්නිවේදනය මානවයාගේ පූර්ණ සංවර්ධනය සඳහා ම අවධානය යොමු කරන එහි විවිධ පැතිකඩ කෙරේ කෙරෙහි අවධානය දෙන සංවර්ධනය හා බැඳුණු ක්‍රියාදාමයකි. 

තුන්වන ලෝකයේ සම්ප්‍රදායික ජීවිතයකට යොමු වූ ජනතාව සංවර්ධනය සඳහා ජනමාධ්‍ය යොදා ගැනීමට වඩා කුඩා කණ්ඩායම් සන්නිවේදනයට මෙහිදී ප්‍රමුඛත්වය ලබා දී ඇත. ප්‍රජාතාන්ත්‍රීය අධ්‍යාපන මූලධර්ම යොදා ගනිමින් හෙවත් පහසුකරණය තුළින් ජනතාව සජීවීකරණය කිරීම හෙවත් පුහුණු කිරීම සංවර්ධන සන්නිවේදනයේ ප්‍රබල උපාය මාර්ගයක් බවට පත් වේ. එනම් සන්නිවේදනය ජනතාව දක්කා ගෙනයෑමට නොව සජිවිකරණය සඳහා යොදා ගන්නා වූ ක්‍රියාවලියකි. එහිදී ඒක මාර්ගික ජනමාධ්‍ය සන්නිවේදනය පමණක් නොව පුද්ගලාන්තර සන්නිවේදන ක්‍රම වලට ද වැඩි නැඹුරුවක් දක්වයි. ජනයා අතර වර්ධනය වූ සාම්ප්‍රදායික සන්නිවේදන ක්‍රම කෙරෙහි ද අවධානය යොමු කෙරිණි. එපමණක් නොව මෙහිදී පුද්ගලයා සමාජ ගැටලු විසඳීමට සක්‍රීයව මැදිහත් වෙයි. එහිදී සමාජයේ ක්‍රියාකාරී අයුරින් පුද්ගලයා කටයුතු කරයි.

මෙහිදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් නිර්වචනයක් ද ඉදිරිපත් කර තිබේ. 

සංවර්ධනය  සඳහා සන්නිවේදනය යනු සංවාදය සක්‍රීය කරවන, ද්වමාර්ග සන්නිවේදන පද්ධති මගින් ප්‍රජාවන්ට  ඔවුන්ගේ අභිලාශ හා උත්සුක ප්‍රකාශ කිරීමට හැකි හා ඔවුන්ගේම සංවර්ධන ක්‍රියාවලියක අදාළ තීරණවලට සහභාගීව මැදිහත් වීම ය.

(එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය 51රැ172රැල1996)

සංවර්ධනය වෙමින් පවතින රටවල් ගත් කල ෆව්ලෝ ප්‍රියරි විසින් ඉදිරිපත් කරනු ලබන පීඩිත විමුක්ති අධ්‍යාපන ක්‍රමවේදය ඔස්සේ ගොඩනැගෙන සහභාගිත්ව සංවර්ධනය ගැන අදහස් සමඟින් සංවර්ධන ක්ෂේත්‍රය නව මඟකට යොමු කළේ ය. 

සහභාගිත්ව සංකල්පය නමැති සුසමාදර්ශය කල එළි ගැන්වෙන විට සන්නිවේදන භාවිතයන් ද ඊට අනුගතව වෙනස් විය. ප්‍රජා ගුවන්විදුලි සංකල්පය ප්‍රජා සහභාගීත්ව ඉගෙනුම් ක්‍රමවේද ඇතුළු සන්නිවේදනය ක්‍රම ශිල්ප රැසක් මේ ඔස්සේ ඉදිරියට ගෙන යනු ලැබිණි. 

ග්‍රාමීය සංවර්ධනයෙහි ප්‍රජා සංවර්ධන ප්‍රවේශය විවිධ බලපෑම් ගණනාවක ප්‍රතිඵලයකි. ග්‍රාමීය පවුල් ඒකකයන්ට සහ ප්‍රජාවන්ට සමාජ සහ ස්වභාව විද්‍යාවන් හා තාක්ෂණ විද්‍යාව පිළිබඳ ප්‍රායෝගික දැනුමක් සැපයේ නම් ඔවුන් සංවර්ධන මාවතට මෙහෙයවනු ලැබිය හැකි ය. ග්‍රාමීය ජන සමූහය විද්‍යාව සහ තාක්ෂණය යන බලවේග එක් තැන් කිරීමේ ප්‍රධාන වගකීම පැවරෙනුයේ රජය මතය. මෙය ඉක්මනින් ම එහෙත් ගම්වල ජීවන රටාව බරපතළ ලෙස අවසන්ධි නොවන පරිදි ක්‍රමානුකූලව ද කළ යුතු වේ. ප්‍රජා සංවර්ධන ඒකක මට්ටමේ දී විමධ්‍යගත අන්තර්පුද්ගල සන්නිවේදන පද්ධතියක් මගින් මෙය සාර්ථක කර ගත හැකිය. සෑම ප්‍රජා සංවර්ධන ඒකකයටම, සංවර්ධන නිලධාරියෙකු විසින් අධීක්ෂණය කරනු ලබන සහ සම්බන්ධීකරණය කරනු ලබන්නා වූ ද ඒකක මට්ටමේ දී විෂය පිළිබඳ විශේෂඥයන් විසින් ආධාර කරනු ලබන්නා වූ ද ගම් මට්ටමේ බහු කාර්ය සේවක කණ්ඩායමකගේ සහය ලැබේ.

ඉහත ද කී ලෙසට, සංවර්ධනය වෙමින් පවතින රටවල බටහිර මතවාදයේ දී මෙන් සන්නිවේදනය තොරතුරු ඉහළ සිට පහළට ගෙන යන ඒක මාර්ගික ක්‍රියාවලියක් නොව පහළ සිට ඉහළටත් තිරස් වත් තොරතුරු ගමන් කරවන ද්විමාර්ගික බහු මාර්ගයක ක්‍රියාවලියක් බවට පත් වෙයි. මෙම ආකෘතියෙන් ද ඒ පිළිබඳව තහවුරු වෙයි. 

        මේ අනුව, සංවර්ධන සන්නිවේදනය යනු සමාජයේ දැවෙන ගැටලු සහ ගැටළු විසඳීම සඳහා උපායමාර්ගික සන්නිවේදනය උපයෝගී කර ගැනීමයි. එය සමාජ පරිවර්තනයක් සඳහා මාධ්‍යයේ කාර්යභාරය අතිශයින්ම වැදගත් යැයි සැලකෙන අධ්‍යයන ක්ෂේත්‍රයකි. ඉහත ආකාරයට සංවර්ධන සන්නිවේදනය දෙවන ලෝක යුද්ධයෙන් පසුව 1980 දක්වා සංවර්ධන සන්නිවේදනය පිළිබඳව ඇමෙරිකානු/ යුරෝපීය/ බටහිර කේන්ද්‍රීය අධ්‍යන සංකල්ප සහ ඉන් අනතුරුව අද දක්වා සංවර්ධන ක්‍රියාවලියේ දී සන්නිවේදනය හැසිරවීම පිළිබඳව සංවර්ධනය වන රටවල්වල ඇති වී තිබෙන ප්‍රායෝගික භාවිතයන්, අත්දැකීම්, ආකෘති, සංකල්ප ආදිය පිළිබඳ සංසන්දනාත්මක අයුරින් සංවාදයට ලක් කළ හැකි ය.


23 Comments

  1. godak wedagath lipiyak... digatama liyanna...

    ReplyDelete
  2. Godak wadagath article ekak.keep it well

    ReplyDelete

Post a Comment

Previous Post Next Post