පසුගිය සියවස තුල සමාජ ශාස්ත‍්‍ර අතරට එක්වූ ප‍්‍රමුඛතම විෂය ක්ෂේත්‍රය....

 

සන්නිවේදනය න්‍යාය 

        ලොව පවතින සමාජ ශාස්ත‍්‍ර අතරට පසුගිය සියවස තුල එක්වූ ප‍්‍රමුඛතම විෂයක් ලෙස සන්නිවේදන අධ්‍යයනය හදුන්වා දිය හැකිය. විශේෂයෙන් ම කාලීන අගයෙන් යුත් විෂයක් ලෙස මෙහි ආරම්භය ඇමරිකාව තුල සිදු වන අතර ඒ සදහා විවිධ විෂය ක්ෂේත‍්‍රයන් පිලිබදව ප‍්‍රවීනත්වයට පත් විද්වතුන් මේ සදහා ස්වකීය දායකත්වය සපයන ලදි. ඒ අතර හැරල්ඞ් ලැස්වෙල්, කර්ට් ලෙවින්, පෝල් ලැසාස්ෆෙල්ඞ්, කාල් හවුලන්ඞ්, විල්බර් ශ‍්‍රාම් ආදී පුරෝගාමී විද්වතුන් ද ගේබි‍්‍රයෙල් ටාඬේ, ජෝර්ජ් සිමෙල් ආදී යුරෝපීය විද්වතුන්ද ජෝන් ඬේවි, චාල්ස් හෝර්ට්න් කුලී, රොබර්ට් ඊ පාක්, මීඞ් ආදී ඇමරිකානු විද්වතුන් ද ක්ලෝඞ් ඊ ෂැනන් සහ නෝබර්ට් වීන්ර් ආදී ඉංජිනේරු සන්නිවේදකයෝ ද වේ. මොවුන් විසින් මෙම නව විෂය අරභයා කරන ලද පර්යේෂණ ආදිය මගින් එය සමාජ ශාස්ත‍්‍රයක් ලෙස වර්ධනයට අවශ්‍ය පදනම සකස් කරනු ලැබීය. මොවුන් විසින් විවිධ අයුරින් දක්වන ලද දායකත්වය නිසා මෙම නව විෂය අද වන විට න්‍යායාත්මකව වර්ධනය වී පවතී.

        න්‍යාය යනු වියුක්තිකරණයකි. වියුක්තිකරණය යනු සිද්ධියකට එහා ගිය අදහසක් පිළිබඳ ගුණාත්මක ගනුදෙනුවකි. එසේම න්‍යාය යනු ගොඩනැගීමකි. හේතු ඵල සහිත මූලික ස්වභාවයක් විග‍්‍රහ කිරීමට සීමා හඳුනා ගැනීමට න්‍යාය ගොඩනඟා ගනියි. ප‍්‍රාථමික ව පැවැති උපකල්පන, ගම්‍යමානදේ හා සුසමාදර්ශ හා උපන්‍යාස යනාදිය පසුකාලීනව සංකල්ප හා න්‍යාය බවට වර්ධනය කොට ගෙන ඇත. ප‍්‍රධාන වශයෙන් සන්නිවේදන න්‍යාය වර්ග දෙකක් හදුනාගත හැකිය.

  •          පොදු සන්නිවේදන න්‍යාය
  •          විශේෂිත සන්නිවේදන න්‍යාය

සාමාන්‍ය සන්නිවේදන ක‍්‍රියාව පැහැදිලි කරන විශ්වයටම අදාළ ව යොදා ගත හැකි න්‍යාය පොදු ගණයට අයත් වේ. විශේෂ හා අවස්ථා බද්ධව ගොඩ නැගෙන හා ව්‍යවහාර කළ හැකි න්‍යාය විශේෂිත ගණයට ගැනේ. මෙම දෙවර්ගයම සන්නිවේදන අධ්‍යනයේ දී වැදගත් වේ. සන්නිවේදනයේ විවිධ ක‍්‍රියාකාරකම් පෙන්නුම් කිරීමට ඒවා සමත් වේ. කිසියම් න්‍යායක, සම්මුතික නිර්වචන, විස්තරාත්මක නිර්වචන, නිර්දේශක නිර්වචන ඇතුළත් වේ.

        විසිවැනි සියවසේ දාර්ශනිකයෝ සන්නිවේදනය පිළිබඳ ශික්ෂණයෙන් යුතු නිර්වචන සපයන්නට පෙළඹුණහ. ඒ නිසාම මානව සන්නිවේදනය හෙළි පෙහෙළි කිරීමට සමත් න්‍යාය ගොඩ නැගුණි. මුල් කාලීනව න්‍යාය සඳහා යොදා ගැනුණේ හැසිරීම් විද්‍යාත්මක ආකෘති වන අතර එහිදී මත, ආකල්ප, තොරතුරු මූලාශ‍්‍ර හා අන්තර්ගතයන් හි වෙනස්කම් යන විචල්‍යයන් නොසළකා හැරියේ ය. සන්නිවේදන න්‍යායන් සම්බන්ධ ප‍්‍රධාන මග මගපෙන්වීම් තුනක් හඳුනාගත හැකි ය.

  •       නීතිමය ආවරණ න්‍යාය 
  •       පද්ධති න්‍යාය 
  •       විධි න්‍යාය 

එසේ ම න්‍යායක් මගින් නිදහස් පැහැදිලි කිරීම් හා ගතික සම්බන්ධතා ගොඩ නගයි. දාර්ශනිකයන් න්‍යාය සඳහා වන ප‍්‍රධාන මාන තුනක් දක්වා ඇත. එනම්, ඥානවිභාගය ; ඥානය ප‍්‍රශ්න කිරීම වේ. සද්භාව විභාගය ; අත්දැකීම් ප‍්‍රශ්න කිරීම වේ. සාරධර්ම විභාගය ; අගයන් ප‍්‍රශ්න කිරීම වේ. එපමණක් නොව න්‍යායන් සදහා අරමුණු ද වැදගත් වේ. එහිදී ප‍්‍රධාන අරමුණු සතරක් හඳුනා ගත හැකි ය. එනම් විවරණය, අවබෝධය, පුරෝකතනය, සමාජ වෙනස්වීම වේ. කිසියම් න්‍යායක වැදගත් සාධක ලෙස පැරණි තොරතුරු අනුකලනය නව තොරතුරු පුරෝකතනය හා තේරුම් ගැනීමට මඟ පෙන්වීම කැපී පෙනෙයි. දෙවන ලෝක යුද්ධයෙන් පසු වඩාත් සන්නිවේදන අධ්‍යයන බල ගැන්වුණු බව පැහැදිලි කරුණකි. ප‍්‍රධාන හේතුව යුද්ධය උදෙසා සියලූ‍ මාධ්‍ය භාවිත කිරීමෙන් මාධ්‍ය සතු බලය අවබෝධ වීමයි. රාජ්‍ය  මට්ටමේ ද  විශ්වවිද්‍යාල මට්ටමේ ද සන්නිවේදන දෙපාර්තමේන්තු ඇතිවිය. එක්සත් ජනපදය තුළ වඩාත් සන්නිවේදන න්‍යායික අධ්‍යයන ආරම්භ වන අතර මේ සඳහා මාක්ස්වාදී න්‍යාය ධර්ම ප‍්‍රබල බලපෑමක් නිර්මාණය කළේ ය. 

15 Comments

Post a Comment

Previous Post Next Post