කාල නදී ගලා බසී

කාල නදී ගලා බසී නවකතාව විචාරය  



      සමනල ගිරි සිරසින් කුඩා දිය බිඳුවක ලෙසින් ගමනාරම්භ කර කළුතර බෝ සමිඳු අභියසින් මහ සයුර සිප ගන්නා කළු ගංගා නදී තෙමේ සඟවාලූ බොහෝ වටිනා සිදුවීම් රැුසක් පිළිබඳව මෙම නවකතාව පුරාවටම ගලා ගෙන යන්නීය. 

සාහිත්‍යය යනු භාෂාව අනුසාරයෙන් පුදුමසහගත දේ කරන්නකි. එමෙන්ම, 

”සාහිත්‍ය යනු භාෂාත්මක වික‍්‍රමයකැයි මහාචාර්ය විමල් දිසානායක පවසයි”. 

(නිර්මාණය හා විචාරය, දිසානායක විමල්)

”සුර අසරුවෙකු අසුන් එල්ල කරමින් විස්මයාවහ දක්ෂතාවයන් විදහා දක්වන්නාක් මෙන් නිපුණ සාහිත්‍යකරුවා ද පාඨකයාගේ සිත විශ්මයෙන් පුරවා දමමින් බස පාලනය කරයි”.

(නිර්මාණය හා විචාරය, දිසානායක විමල්)

මෙයින් කියවෙන්නේ තම අරමුණ ඉටුකර ගැනීම උදෙසා ලේඛකයා භාෂාව යොදා ගන්නා ආකාරය යි. ඔහුගේ නිපුණතාව ප‍්‍රකට වන බවයි.

    කාල නදී ගලා බසී යන නවකතා රචකයා සිය නිර්මාණයට පාදක කරගන්නා අත්දැකීම්වල විශ්වසනීය භාවය තහවුරු කිරීමට උත්සාහ දරා තිබේ. කතුවර නෝබට් අයගමගේ තමාගේ සිත සසල කළ අත්දැකීම් අන් අයට ප‍්‍රකාශ කිරීම සඳහා භාෂාව මෙවලමක් කොට ගනිමින් සිය අත්දැකීම් මැනවින් පාදක කොට ගෙන තිබේ. ඔහු තම අත්දැකීම් පාඨකයා වෙත ගෙන යාමට වියත් වහර හා ගැමි වහර මනා සුසංයෝගයකින් යුතුව භාවිත කොට තිබේ. ඒ සඳහා දිය හැකි උදාහරණ රාශියක් ඉදිරිපත් කළ හැකි ය.

  ”තරුණ වියට එළඹෙමින් සිටි කාල වර්ණිත හස්ති පෝතක තෙමේද නිසල ව‍්‍රතයක නිරතව පාෂාණිභූතව හුන්නේ අවට පරිසරයටම අනුබද්ධිත අනුඛණ්ඩයක් සේය. සිය ඇඹේනිය හඹා යමින් හුන් කලබලකාර දඬුලේනා ද, මෙතෙක් දිනක් නොදුටු අප‍්‍රාණවාචී කාලවර්ණ පාෂාණය දැක මොහොතකට ගල්බීත වූයේය. එහෙත්, ඔහුට කවර හේතුවක් නිසාවත් තත්පරයක්වත් අපතේ හැරිය නොහැකිය. වියරු ඉඳුරන්ට අවනත වූ දඬුලේනා මංගල නැකත පමා වූ මනා ලේ කුසේ මනාලයකු සේ වහා තුරු අතරින් පැන ලෙහෙනිය පසුපස ලූහුබැඳ ගියේ ය”.

(කාල නදී ගලා බසී - පිටුව 13 )

වියත් වහරෙත් පොදු ජන වහරෙත්  ගැමි ජන උපමා රූපක භාවිත කර ඇති බවට එය මැනවින් පැහැදිලි වේ. 

මෙම නවකතාවෙහි ලා උපයුක්ත භාෂාව ද අපූරු ය. කදිම ය. මටසිලිටි ය. කාල නදිය විවේකීව ගලාබසින්නාක් මෙන් එය ද ලතාවකට රාව නංවමින් ගලා බසියි. අපූරු චිත්ත රූප මවන සුළු නිර්මාණාත්මක වර්ණනයන්ගෙන්, අපූරු යෙදුම් සහ උපමා ආදියෙන් පෝෂිත මෙම නවකතාව සිංහල භාෂාවේ කලාත්මක ශිල්පීය පක්ෂය පිළිබඳව කතුවරයා සතු දැනුම, අත්දැකීම් සහ කුසලතාවය ප‍්‍රකට කරවන්නකි.

”ගං ඉවුර බෝලිද්ද, බෝවිටියා, රතඹලා, රුක්අත්තන, නියපිරිත්තන ආදී නන්වන් මල් වදුලින් සුසැදිව මනාලියක අත රැුඳි මල් පොකුරක් සේ සිනාසෙයි”. 

”ගඟට ඉහළින් සැදි ජීවමය හරිත පැහැති ආරුක්කුවේ ඇමිණූ ස්වර්ණමය කරාබු යුගලයක් බඳු කහකුරුලූ යුවළක් මියුරු සරින් තෙපලන පෙම්බස් කිසිවෙකුටත් රහසක් නොවේ. දෙදෙනාගේම අපේක්ෂාව හෙට අනිද්දාම එක් කැදැල්ලක එක්තැන් වීම විය යුතු ය”.

(කාල නදී ගලා බසී - පිටුව 64 )

මේ තරම් රමණීය ලෙස චිත්තරූප මැවෙන සුළු අන්දමින් පරිසරය වර්ණනාකරන කතුවරයා ඒ තුළින් ද ධ්වනිතවත් කරන්නේ ජීවිතය පිළිබඳව දහමකි. කාල නදීහි භාෂාව ධ්වනිපූර්ණ ය. ව්‍යංග්‍යාර්ථයන්ගෙන් අවස්ථා නිරූපණයන්ට අදාළව රසවත් ලෙස අරුත් සම්පාදනය කිරීමට සමත් ය. එය කලාත්මක ලෙස භාෂාව හැසිරවීමෙහි ලා කතුවරයාගේ නිපුණත්වය විශද කරවයි.

බොහෝ නවකතා වල අන්තර්ගත වන්නේ මානව ජීවිතය යි. මෙය ද මානව ජීවිතයේ විවිධ අවස්ථා සිදුවීම් චරිත පදනම් කරගෙන ගොඩනඟා තිබේ. කතුවරයා අසා, දැක, කියවා, විඳ ඇති දේ ඇසුරින් පරිකල්පනය මගින් ගොඩ නැඟූ යථාර්තයක් කාල නදී ගලා බසී යන නවකතාව තුළ අන්තර්ගතව තිබේ. කතාව පුරා විනිවිද දකින පන්ති විෂමතාවන් සංස්කෘතික වෙනස්වීම් අතීතයේ ඇතැම් අවස්ථාවල මතු වන අර්ධ ශිෂ්ට සමාජය පංති විෂමතාවය මෙමගින් මනාව නිරූපණය කිරීමට නෝබට් අයගමගේ දැරූ උත්සාහය සහෘද පැසසුමට ලක් වූවකි. නවකතාව රචනා කිරීමේ දී ඔහු පළමුව අතීත තොරතුරු ගෙන හැර පෑමට බොහෝ සෙයින් උත්සහ කර තිබේ. ඉතිහාසය යනු අතීතයත් වර්තමානයත් අතර නොනවතින සංවාදයක් බව ඉතිහාසඥයෝ ද කියා ඇති බැව් මෙහිදී මනාව තහවුරු වේ.

හල්වතුර ගම්මානයේ ජනතාවගේ දුක්ඛ දෝමනස්සයන් සානුකම්පිත මුහුණුවරකින් ඉදිරිපත් කර තිබේ. මේ වකවානුව වන විට ලංකාවේ අධිරාජ්‍යවාදීන් රබර් වගාව ආරම්භ කළ යුගයකි.

”සබරගමුව අඩවියේ දුම්බර නිම්නයට ආගන්තුක රබර් වගාව හදුන්වා දුන් හල්වතුර වතුයාය හිමි සෝන්ඩර්ස් සුදු මහතා සවුන්දිරිස් ය”.

(කාල නදී ගලා බස - පිටුව 17 )

නමුත් එම ගම්මානයේ වැසියන්ගේ ප‍්‍රධාන ජීවනෝපාය වූයේ මිනිරන් කැණීමයි. එය එතරම් පහසු වූවක් නොවේ. එහි එක් අයකුගේ බලපරාක‍්‍රමයට යටවී දිවි ගෙවීමට සිදු වී තිබේ. මෙහි හමුවන ප‍්‍රධාන කතානායකයා වන සාදිරිස් නම් කොලූවාගේ ආදරණීය මවගේ අකල් වියෝව මිනිරන් පතලේ සිදු වූ නොසිදයුත්තක් සිදුවී ඇති බව ගැමියෝ කියති. එහෙත් එය තේරුම් ගන්නට තරම් මේරූ බුද්ධියක් සාදිරිස් හට තිබුනේ නැත. එහෙත් ගමේ මැගිලින් නමින් හඳුන්වන ගැහැණිය මිනිරන් පතලේ චන්ඩියා වූ ගවරා පිළිබඳ මෙසේ පවසයි.

”උඹේම අම්මව අකාලයේ මරා ගත්තෙත්  ඕකා. ගමම කසාය බීපු ගොළුවො වගේ ඉන්දැද්දී මම කියන්ම් වෙච්චි සංගදිය. උඹ නොදන්නවාට මල්ලියේ උඹේ අම්ම උගේ බහට වංගු වුණේ නැති හින්දා එදා ? වෙනකම් මිනිරන් මඩුවේ වැඩ කරන්නය කියලා උඹගෙ අම්මට කිව්ව. එදා හොඳටෝම වැස්ස ඔයේ වතුර පාරත් සැරයි. අම්මා ? වෙලා ගෙදර එන්න ආවා. ඒත් ගෙදර ආවේ නෑ. පැණිගල ඇල්ල ඉසව්වේදී මිනිය හම්බ වුණේ දවස් තුනකට පස්සේ”.

(කාල නදී ගලා බසී - පිටුව 25 )

මව අහිමි වූ සාදිරිස්ගේ සිත තුළ සාදිරිස්ටත් හොරා තම ආදරණීය මවගේ වියෝව සිදු වූ ආකාරය කතුවරයා වාච්‍යාර්ථය ඉක්මවා යන ව්‍යංගාර්ථයකින් ඉදිරිපත් කොට තිබේ. ඔහු අතීතාවර්ජනයක යෙදෙමින් අම්මාගේ ආදරණීය වදන් හැමවිට ම මෙනෙහි කළේ ය. ගවරා නම් නොහික්මුණු මිනිසා සාදිරිස්ගේ පුංචි අම්මාව ද තමා කෙරෙන් උදුරාගෙන ඇති බව පසක් කර ගත් මොහු ගවරා පිළිබඳ තීරණයක් ගනී.

ඉන් අනතුරුව  මවුපිය සෙනෙහස අහිමි වූ සාදිරිස්ගේ ජීවිතය වෙනත් මගකට පිවිසීමත් එය තමාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වූ බවත් අධිරාජ්‍යවාදීන් නියෝජනය කරන පරපුර ගණන් නොගෙන සිය කැටපෝලයෙන් අශ්වයාට විද,  සිතෙහි එඩිතර භාවය විදහා දක්වමින් අවසාන ජීවිතයේ ගැළවුම සොයා ඔහු කළු ගං දියේ සැඟවීමත්,  එහිදී අහඹු ලෙස පාරුවකින් ගිය උත්තරීතර මිනිසකු ගේ හමුව දිගේ කතාව ඉදිරියට ගෙනයන්නට කතුවරයා උත්සාහ දරා තිබේ.

රාජ්‍ය සම්මාන ලැබීමට තරම් මෙකී නවකතාව සුදුසු වූයේ කතුවරයා සමාජ අත්දැකීම් මගින් පරපෝෂිත වූ මිනිසකු නිසාවෙනි. ආරම්භයේ සිට අවසානය දක්වාම විස්මයෝහතුලනයෙන් කියවාලිය හැකි උක්තීන් කතුවරයා භාවිත කර තිබේ. අවසානයේ තමාට අහිමි වූ පිය සෙනෙහසට පියෙකු සාදිරිස් නැමැති කොලූවට කාල නදී තෙමේ හිමිකර දුන්නා ය.

මනා කතා වින්‍යාසයක් කතාව පුරා තිබේ. එතැන් පටන් කතාව දිග්ගැස්සෙන්නේ හෙළ සංස්කෘතියේ අනු අංගයක් වූ පාරු සංස්කෘතිය හරහා ය. මේ පාරු ජීවිතයේ ඔහුට හමු වූ උත්තරීතර මිනිසා තණ්ඩලේ නමින් හඳුන්වන කුරුවිට රාළගේ පාරුවයි. ජීවිතය සුන්දර වූවක් නොවේ. අවිනිශ්චිත ජීවන අරගලයක යෙදෙන මොවුන් අපූරු ජීවන රටාවක් ගෙන යන්නෝය.

”පාරු පදින්නෝ පාරු රාජකාරියේ දී වැඩි කතා කතාබහ නැත්තෝ ය. ඉඳහිට විහිලූවක් දෙකක් කළ ද, එසේ කරනුයේද තණ්ඩලේට රහසිනි. අවකැපෙන කතා පාරුවට අකැප අයුරකි. රළු සහ වෙහෙසකර මුහුණුවලින් හෙබි ඔවුහු කිසියම් විශේෂිත වූ මොහොතක හැර ශබ්ද නගා කතා නොකරති”.

(කාල නදී ගලා බසී - පිටුව 72 )

එපමණක් නොව, පරම්පරා ගණනක් පුරා පැවත එන වෛරයක් සමඟම වස්තුවකට ඇති තණ්හාව නිසා නැතිවන මිනිස් ජීවිතවලින් අපට ගෙන එන පාඩම තණ්හාවේ ආදිනව කියාපාන කැඩපතක් පරිද්දෙන් මුළු කතාව පුරාම දිස්නේ දෙයි.

නවකතාව කිහිප ආකාරයකින්ම විමසුමට ලක් කළ හැකි ය. කළු ගං දෑළ මෙන් සුන්දර පාරිසරික වර්ණනාවන් බොහොමයක්  ඇත. කතාව රසවිඳීමට එය මහත් රුකුලක් වී තිබේ. පාරු සංස්කෘතිය තුළ අශිෂ්ට ලක්ෂණ ද නැත්තේ නොවේ. පාරු සයිමා නම් හඳුන්වන අශිෂ්ට මිනිසාගේ හැසිරීම් රටාව අර්ධ ශිෂ්ට සමාජයක තතු පෙන්නුම් කරයි.

කෙසේ වුවද පාරු සංස්කෘතියට තවත් අකරතැබ්බයක් වූයේ අධිරාජ්‍යවාදීන් පනවන ලද ඔරුපාරු බද්ධ යි. ඔවුන්ගේ එකතුවෙන් එය විසඳා ගන්නට ද ඔවුන් දැරූ උත්සාහය එමගින් පැහැදිලි වේ. කෙතරම් දුක්ඛිත ජීවිතයක් ගත කළ මේ ත‍්‍රාසජනක ගමනේ දී මංකොල්ලකාරයන් ගෙන් ද පිරුණු  අති භයානක සිද්ධීන්ට පවා මුහුණ දීමට සිදු විය. එහිදී පාරු මංකොල්ල කෑ ප‍්‍රධාන සගයා වූයේ වීදිය ගොඩැල්ලේ කරතේලිස් ය.

ඉන්පසු කතාව වෙනතකට හැරෙයි. තාන්න මාන්න දරණ බොහෝ අයට ද එදා තිබුණේ පාරු කාරයන්ගේ පිහිටයි. ඇහැළේපොළ පහතරට පැමිණියේ පාරුකරුවන් ගේ පිහිටෙනි.  එය සූක්ෂම මෙහෙයුමකි. එය කුමන්ත‍්‍රණයකින් සිදු වුව ද ඔවුන් තම රට ගැන දැරූ අදහස ද විශිෂ්ට ය.

”ඇහැලේපොළ අදිකාරමට නැති වුණේ එයාගෙ කුමාරිහාමියි දරුවොයි විතරයි. අපිට අපේ රටම නැති වෙන්නයි යන්නේ”.

(කාල නදී ගලා බසී - පිටුව 157 )

එමගින් එදා වැසියාගේ දේශහිතෛෂී බවද බව ද මැනවින් පසක් වේ.

ඒ අයුරින් බලන කල මෙකී නවකතාවෙහි අන්තර්ගතය අනුව සමාජයේ සෑම පැතිකඩක්ම ආවරණය කරන්නට උත්සාහ දරා ඇති අයුරු පෙනෙයි. 

සාහිත්‍යයත් ඉතිහාසයත් අතර දක්නට ලැබෙන්නේ අතිශයින් සංකීර්ණ සම්බන්ධයක්. මෙම සම්බන්ධය අපට විවිධාකාරයෙන් විග‍්‍රහ කරන්න පුළුවන්. මාගේ පෞද්ගලික විශ්වාසය නම් සෑම නවකතාවකම කිසියම් ඓතිහාසික විඥානයක් ගැබ්විය යුතුයි. මීට හේතුව ඓතිහාසික විඥානයකින් තොරව අර්ථවත් සමාජ විශ්ලේෂණයක් ඉටු කරන්න බැහැ. හේගල්, කාල් මාක්ස් වැනි චින්තකයන්ගේ විවරණවලින් මෙය පැහැදිලි වෙනවා.         

                         -මහාචාර්ය විමල් දිසානායක-

 මෙම කියමන තහවුරු කරමින් ඓතිහාසික නවකතාවක අන්තර්ගත ගාම්භීරත්වයත්, චිරන්තන සාහිත්‍ය උක්තීන් භාවිතයට ගෙන ඇති අතර කතුවරයා ධ්වනිපූර්ණ යෙදුම් මඟින් කතා රසය මතු කරන්නට උත්සාහ දරා තිබේ.  අවස්ථාවෝචිත ලෙසින් භාෂාව හසුරුවන ඔහු ඔහුගේ ප‍්‍රතිභාපූර්ණත්වය හා ව්‍යුත්පත්තිය මනාව ප‍්‍රකට කරමින් රචනා කොට තිබේ. ලේඛකයාගේ අදහස නම්,  පාඨකයා වෙතට ගෙන යන වාහකය භාෂාව බැවින් භාෂාවේ ඔහු  දැක් වූ හසලත්වය මෙකී කතාවේ අගය වැඩි කිරීමට හේතුවක් වී තිබේ.

සෑම සාහිත්‍ය නිර්මාණයකම නවනළු රසයක් දක්නට ලැබේ. සියුම් විමසුමකට ලක් කිරීමේ දී මෙහි වඩාත් උද්දීපනය වී තිබෙන්නේ ශෘංගාර රසයයි. ඊට අමතරව ශාන්ත රසය, වීර රසය, හාස්‍ය රසය නවකතාව තුළ අන්තර්ගත වේ. පොදු මිනිස් හැසිරීම් කවරාකාර මිනිසකු තුළ ද දක්නට ලැබේ. එබැවින් කාල නදී ගලා බසී නවකතාව පුරාම ශෘංගාර රසය වෑහෙන ආකාරයට කතුවරයා රචනා කොට තිබේ.

ඇය සුළං පහර ළමැදට ලැබෙනු වස් ගවුම් කර මදක් ලිහිල් කර ගත්තීය. අව් රශිමිය දැඩි ය. පිරිපුන් ළමැඳ වේගයෙන් උස් පහත් වනු ගොදුරු ලොබ බැඳි සාදිරිස්ගේ තියුණු ඇස් බලාගෙනය. ඔහු හෙමිහිට දියේ පාව යන පුංචි බකිනි ගෙඩියක් අහුලා ගත්තේය. හරියටම එල්ලය බලා අර කිරිගරුඬ පැහැති ළමැදේ නිම්න භූමියට ඉහළින් විවරව පැවැති ගවුම් කර තුළට විද්දේය. වහාම අහක බලා ගත්තේය. එය සුළු පරිමාණ කලබලයකි. යුවතිය එහෙට ඇඹරුණාය. මෙහෙට ඇඹරුණාය. තෙතබරිත බකිනි ගැටය නිම්නය ඔස්සේ තවත් පහළට බැස්සේය. අවසන එය සුසිනිඳු පවුරු නිම්නය මැද සිරවිණ.

(කාල නදී ගලා බසී - පිටුව 191 )

    අන්තර්ගතය ශුංගාර වුවද ළගන්නා සුළු භාෂාව නිසා එය එතරම් ප‍්‍රකාශිත නොවේ. කෙසේ වුවද නවකතාවේ සමාජ පන්ති නිරූපණය ද ප‍්‍රබලව ම තිබේ. සාදිරිස්ට හා කුරුවිට රාළට ප‍්‍රභූ පන්තියේ ඇසුර ද නොමදව ලැබී තිබේ. ලූවිස් මුදලාලි යනු එකල කළුතර ප‍්‍රදේශයේ ජීවත් වූ ව්‍යාපාරිකයෙකි.  ඔහුගේ ඥාති නීතීඥයකු වූ වොන්ඩර්ෆුල් මහතා ද ඔවුන්ගේ ඇසුර ලැබූ ධනපති පාන්තිකයෝය. මුදලාලිගේ දියණිය ඉතා රූමත් තරුණියක් වූ අතර ඇය නමින් සිසිලියානාය. පන්ති භේදය කෙසේ වුවත් සිසිලියානා සාදිරිස්ට පෙම් බැඳි ධනපති පන්තියේ යුවතියකි. එහෙත් ඒ බව සනාථ වන්නේ ඇයගේ උපන්දින සාදයේ දී සාදිරිස් සමග අඩ අඳුරේ ගත කළ අවස්ථාවයි. පේ‍්‍රමයට නිම්වළලූ නැත. නමුත් ඇතැම් අවස්ථාවකදී  සිසිලියානා සාදිරිස්ට පාරුකාරයා යන නමින් ද පහත් ලෙස අමතා තිබේ.

    පැණිිගල නම් පාරුකාරයාගේ මරණයත් ඔහුගේ දියණිය කුමතේරිස් නම් විවාහක පාරුකරුවකු හා පැන යාමත්, කුමතේරිස්ගේ ක‍්‍රියාකලාපය නිසා පැණිගලගේ බිරිඳ ද ගඟට පැන දිවි නසා ගත් අයුරු ද, පැණිගලගේ පුතු චුට්ටේ ඔහු මරා දැමීමත් අනුවේදනීය කතාවක් ලෙසින් ඉදිරිපත් කර ඇති අතර ඔහුගේ ක‍්‍රියා කලාපය තුළ අර්ධ ශිෂ්ට වනචාරී මිනිසෙකුගේ ගති ලක්ෂණ පැහැදිලි කොට තිබේ.

මෙම නවකතාවේ තණ්ඩලේ හා සාදිරිස් යනු ප‍්‍රධාන චරිත දෙකක් ලෙස කතාවේ අවසානය දක්වා ඇදී යනු පෙනේ. ඇදහිලි හා විශ්වාස පිළිබඳව ද එදා ජන සමාජය තුළ තිබූ ජන විශ්වාස ගැන ඉදිරිපත් කරන්නට ද කතුවරයා උත්සාහ දැරුවේ හුදී ජන සමාජයේ පහන් සංවේගය උදෙසා විය හැකි ය.  

”යට මළුවේ පිහිටි බෝධීන්නාන්සේ දුම්රිය මගට අවහිරයක් බැවින් ඉංග‍්‍රීසි ආණ්ඩුවේ වැඩ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා බෝධිය කැපීමට තීරණය කර තිබුණි. ඒ තීරණය දැන සිටියේ අධ්‍යක්ෂවරයා ප‍්‍රමුඛ වැඩ දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානීන් කිහිප දෙනෙක් පමණි. එහෙත් එදින පාන්දර කළුතර ප‍්‍රදේශයේ බොහෝ ජන ප‍්‍රධානීන්ට ද විශේෂිත පුද්ගලයින් රැුසකට ද ගෙවල් වල දොරට තට්ටු කළ යමෙකු මේ අනතුර පිළිබඳව දැනුම් දී තිබේ. ඒ අද්භූත බලවේගය කිසිදා හෙළි නොවුණු අභිරහසක් විය”.

(කාල නදී ගලා බසී - පිටුව 267 )

එහෙත් පෙනෙන්න කිසිවෙකු සිටියේ නැත. නමුත් ඉංග‍්‍රීසින්ගේ අදහස ඉටු කරගන්නට නොහැකි මහා ජන බලවේගයක් ගොඩ නැගී තිබුණි.

විටින් විට පේ‍්‍රමණීය හැඟීම් මතු වුවද සාදිරිස් පෙම්කලේ පෙරහැර නැරඹීමට පැමිණ මුණගැසුුණු සැලී නෝනාට ය. ඔහු සැලී නෝනා සොයා ඇයගේ ගමට යන්නේ ඇය මුණ ගැසීමේ අදහසිනි. ඇය නොදැන සිටියාට ඇයගේ පියාගේ අගුල දියේ ගිලෙන්නට යාමේදී අගුල බේරාදුන්නේ සාදිරිස් ය. එම නිසා ඇගේ පියා වූ සාමෙල් ඔහු පිළිගත්තේ ආදරයෙනි.

”මං දවසක් කිව්වේ අපේ පාරුව ගිලෙද්දී දෙයියො අත පෑවා වගේ දරුවෙක් ඇවිත් බේර දුන්න කියල මේ ඒ ළමයානේ”.

”හානේ අම්මේ මේ එදා කළුතරදී අපිව අර රස්තියාදුකාරයින්ගෙන් බේරගත්ත අයියනේ. අම්මට මතක නැද්ද?”

(කාල නදී ගලා බසී - පිටුව 272)

මේ ආකාරයෙන් බලන කල තණ්ඩලගේ පාරුවේ සේවය කළ සාදිරිස් වීර චරිතයක් වී හමාරය.

1915  රොබට් වාමර්ස් ආණ්ඩුකාරවරයාගේ කාලයේ සිංහල මුස්ලිම් ගැටුමක් ඇති විය. කතුවර නෝබට් අයගමගේ එය ඉදිරිපත් කරන්නේ සහජීවනයට ගිනි ඇවිලීමක් වශයෙනි. එදා භේදයකින් තොරව තණ්ඩලේ හා සාදිරිස් විපතට පත් මුස්ලිම්වරු නිරුපද්‍රිතව ගෙන ගියේ එකල පැවති ජාතීන් අතර සහජීවනය තාත්වික ලෙසින් ඉදිරිපත් කරමිනි.  

ආර්ථික, සමාජ, සංස්කෘතික, දේශපාලනික, සමාජ විරෝධතා, අන්තර් විවාහ සම්බන්ධතා ආදී සෑම පැතිකඩක් ඔස්සේ ම මෙම නවකතාව ගෙන යන්නේ පාඨක සිත් තුළ තුල කුතුහලය දනවමිනි. සාදිරිස් ට හමු වූ තණ්ඩලේ නම් මේ උත්තුංග මිනිසාගේ ජීවිත කතාව දන්නේ ද මේ සාදිරිස් ම පමණි. අහඹු ලෙස මුණගැසුණ ද සැබෑ පිය සෙනෙහස සාදිරිස් ට දුන්නේ තණ්ඩලේ ය. එපමණක් නොවේ. මේ කතාව පුරා ඉපැරණි ගම්මාන රැුසක නාමාවලීන් ඒ අයුරින් ම දක්වා තිබේ. සෑම සිදුවීමක්ම විශ්වසනීයත්වයෙන් බැහැර වූයේ නැත.

සාදිරිස් යනු යනු තාරුණ්‍යයේ පසුවන්නෙකු වුවද විචක්ෂණශීලී, ස්ථානෝචිත ප‍්‍රඥාවකින් යුතු තරුණයෙකි. සිසිලියානා නම් ධනපති පන්තියේ කාන්තාව ඔහු කෙරේ තවත් පැහැදුණේ රහසේ පැන යාමේ දී හමු වූ හදුන් දිවියා ගෙන් තම මවත් පියාත් තමාත්  ඒ නිසල රාත‍්‍රියේ දී බේරා ගත් ආකාරය නිසාය.

”ඇය ජීවිතේ පළමු වරට පරිසමාප්ත පිරිමියෙකු සාදිරිස් තුළින් දකී. හද පත්ලෙන්ම ඔහුට ආදරය කරයි. එය භෞතිකමය ශරීර ආකෘතිය ඉක්මවා ගැඹුරට කිමිදී ගිය භාවාත්මක පේ‍්‍රමයක් විය. එය සම්  මස්  ලේ, නහර, ඇට මිදුළු විනිවිද විහිද ගිය මහාසාර ස්නේහයක් විය”.

(කාල නදී ගලා බසී - පිටුව 294 )

එකල පැවැති ගෘහ නිර්මාණ ශිල්පය ගැන ද සරල අදහසක් සහෘද මනසට ගෝචර කරන්නට කතුවරයා උත්සාහ ගෙන තිබේ.

”වතු බංගලාව නිර්මාණශීලී ගෘහ නිර්මාණ ශිල්පියෙකුගේ  අපූරු සැලසුමක පරිපූර්ණ නිමැවුමක් විය”.

(කාල නදී ගලා බසී - පිටුව 296 )

සාදිරිස්ගේ හා සිසිලියානාගේ ජීවිතයේ එක් සොඳුරු අවස්ථාවක් දෝතලූ ඇල්ල වටා එක් විය. ඒ සෑම අවස්ථාවම සංකේතාත්මක අයුරින් කතුවරයා ඉදිරිපත් කර ඇති ආකාරය ප‍්‍රශංසනීය ය.

”දෝතලූ ඇල්ල ආවේශ වූ වූවා සේය. අකීකරු දිය පහර දෙගල්දොරු අතරින් රිංගා යමින් දෙපස නෙරු කිති කවමින් දොරු දෑලේ වැඩුණු දිය හවරිය පඳුරු පීරා යමින් ගලා ගියේය. එය වරෙක ප‍්‍රචණ්ඩකාරී විය. වරෙක  මෘදු මන්ද රිද්මයක් ගත්තේය. වරෙක සුමට ලිස්සනසුලූ පාෂාණ නිම්න තලාවේ ලැසි ලෙස ඇතිල්ලෙමින් ගලා බැස්සේය. මෙලෙස බොහෝ වේලාවක් ගතව ගියේය. ඇල්ලට ඉස්පාසුවක් තිබුණේම නැත”.

(කාල නදී ගලා බසී - පිටුව 309 )

සාර්ථක නවකතාවක තිබෙන ලක්ෂණ සියල්ල මෙම නවකතාව පුරා දක්නට ලැබෙයි. පාරු සයිමා නම් මිනිසාගේ පළිගැනීම සාර්ථක වී තණ්ඩලේ නම් උත්තුංග මිනිසාගේ මරණය සිදුවේ. නමුත් ඔහුගේ උත්තුංග දේහය බැලීමට ද සාදිරිස්ට නොහැකි වී යයි.  නමුත්, ජීවිතේ හැරවුම් ලක්ෂයකින් ලෝකය පෙන්වූ ඒ මිනිසාගේ සෙනෙහස අහිමි වීම දරාගත නොහැකි වුවද උපක‍්‍රමශීලීව උන් සතුරෝ මරණයට පත් කළහ.

ඉන් අනතුරුව ඔහු සියල්ල අමතක කොට සැලී නෝනා සමග විවාහ වී පාරු රැුකියාවෙන් සමුගෙන උළු පෝරණුවක සේවය කරමින් තම ජීවිතය ජීවත් කරයි. එපමණක් නොවේ. ලූවිස් මුදලාලිගෙන් සහ සිය ආරක්ෂකයා වූ තණ්ඩලේගෙන් ලැබී තිබුණු ධනය අයථා ලෙස වියදම් නොකිරීමට ද වග බලා ගත්තේය. දරුවන් සිව් දෙනෙක් සිටිය ද නොගැළපෙන විවාහයක් කරගත් සිය එකම දියණිය අකාලයේ  මියයයි. එයට වගකිවයුතු දියණියගේ සැමියාට ද ඇයට අත් වූ ඉරණමම ලබා දෙන්නට සාදිරිස් පසුබට වූයේ නැත. විල්සන් නම් තම පුතුට ලැබිය යුතු ගුරුවෘත්තිය ධන බලය නිසා අහිමි වීම සාධාරණ ලෙස ඉවසුව  ද ඔහුගේ වැඩිමල් පුතු ගම්මුලාදෑනිගෙන් එහි වාඩුව ගෙන තිබිණි. ලූවිස් මුදලාලිගේ දියණිය සිසිලියානා ගේ වෙළෙඳ ව්‍යාපාරවලට ටික කලක් උදව් වුවද දිගටම එහි රැුඳී සිටීමට සාදිරිස් විල්සන්ට ඉඩ දුන්නේ නැත. ඊට හේතුව එකම රුධිරය දෙයාකාරයකින් කටයුතු කරනු දැකීමට ඔහු අකමැති වූ නිසාවෙනි.

බුදු දහම ද හොඳින් අවබෝධ කරගත් ලේඛකයා සිය නවකතාව තුළ පාඨක මනසේ බෞද්ධාගමික හැඟීම් උද්දීපනය කොට තිබේ. සතුටෙහි ගැටෙමින් පීඩනයට පත් වෙමින් දුක වැළඳගනිමින් විටෙක උද්දාමයට පත් වෙමින්  ගමන් ගන්නා චරිතයක් වූ සාදිරිස් අසහනයෙන් මිදෙනු වස් පිළිසරණක් සෙවිය හැක්කේ කොතැනින්දැයි සොයා බලද්දී එසේ කළ හැක්කේ බුදු දහමේ මානුෂික හරයෙන් බව පසක් කර ගත්තේය. අවසානයේ නිහඬ සතුරෙකුගෙන් දිවි ගමන නිමා වන්නට තිබියදී නැවත වරක් වෛද්‍යවරුන්ගේ නොමද උත්සාහය නිසා සාදිරිස් එලොව ගොස් මෙලොව ආවේය.

”බයවෙන්න එපා ලෙඩාගේ ජීවිතේට අනතුරක් නෑ. ගිහින් වචන දෙකක් විතර කතා කරන්න”.

(කාල නදී ගලා බසී - පිටුව 435 )

වෛද්‍යවරයා එසේ කියද්දී සිසිලියානා ඔහුගේ නලළත සිඹිමින් මෙසේ කොඳුලා ය.

”මගේ දෙයියො ඔයා ජීවත් වෙන්න  ඕනේ. මගේ පණ දීලා හරි මං ඔයාව ජීවත් කරගන්නවා”.

(කාල නදී ගලා බසී - පිටුව 435 )

අවසානයේ දී මිනිසුන් කෙතරම් වියපත් වුවත් පේ‍්‍රමය කිසිදා වියපත් නොවන බව පවසාලමින් කතුවරයා නවකතාවේ සමාප්තිය සනිටුහන් කර තිබේ. අපේ රටේ පේ‍්‍රමයට කාල වකවානු නියම කරගෙන තිබේ. තරුණ වියෙන් ඔබ්බේ වන පේ‍්‍රමය අශිෂ්ටය. එය ගලා යාමට ඇති වාං දොරටු වසා දැමිය යුතු ය. නැතහොත් සමාජ දේහය කිලිටි වෙයි. එහෙත් නෝබට් අයගමගේ වීරයන් දෙදෙනෙකු පෙරටුවේ තබාගෙන කෙරෙන මෙම නිර්මාණ රචනාවේ ඒ වාං දොරටුව ඇරගෙන තමාම ඒ අසල සිටගෙන සිටී. එය නිර්භීත ව්‍යායාමයකි.

මෙම නවකතාවේ පිටකවරය ද පේ‍්‍රම් දිසානායකගේ නිර්මාණයක් වන අතර කලාතුරකින් දැකිය හැකි අන්දමේ නවකතාවට අදාළව කියවිය හැකි පිටකවරයකි. නවකතාවේ ඇතුළත මෙන්ම පිටකවරය ද කියවිය හැකි ය. කෙටියෙන් කියතොත් එය නවකතාවේ එක් පැතිකඩක් හකුළුවා දැක්වීමක් ලෙස හඳුනාගත හැකි ය. එහි දැක්වෙන පුරුෂ රූපය සාදිරිස් ලෙස ද ඔහුගේ ළය සමීපයෙහි සිටින ගැහැනු රූපය සැලී නෝනා ලෙස ද, ඉන් මඳක් ඔබ්බට වන්නට නිරූපිත ගැහැනු රුව සිසිලියානා ලෙස ද මම හඳුනාගතිමි. සාදිරිස්ගේ ළයට සමීපයෙන් සිටින ඔහුගේ බිරිය සැලී නෝනාගේ මුහුණ පිරිපුන් ලෙස නිරූපිත ය. ඇය අසළ පිපුණු මලකි. ඉන් මඳක් ඔබ්බෙහි ඇති සිසිලියානාගේ මුහුණ නිරූපණය කර ඇත්තේ අර්ධ වශයෙනි. නමුත් සාදිරිස්ගේ දෙනෙත් මේ දෙදෙනාගෙන් කිසිවෙකු වෙත යොමු වී නැත. ඒ මුහුණේ කිසිදු හැඟීමක් පැහැදිලිව හඳුනාගත නොහැකි ය. ඒ වෙනුවට ඔහුගේ ඇස් ඉන් ඔබ්බෙහි කොහේදෝ දුර ඈතක් වෙත කේන්ද්‍රගත වී ඇත. ගැහැනුන් දෙදෙනාට මැදිව ඔහු ජීවිතයේ ගව් ගණනාවක් දුර ඉදිරියට නෙත් යොමාගෙන සිටියි. මේ සියල්ල නවකතාව තුළ දිවෙන කතා සන්දර්භය පිළිබඳව කදිම සංකේතාත්මක අරුතක් සම්පාදනය කරයි.


18 Comments

Post a Comment

Previous Post Next Post