ශ්‍රී ලංකාවේ සංස්කෘතික ශ්‍රේෂ්ඨත්වය
විදේශිකයෙකුට මේ රටෙහි සංස්කෘතික ශ්‍රේෂ්ඨත්වය අවබෝධ කරවීමෙන් අපේක්ෂා කරනුයේ ජාතික ගෞරවය ආරක්ෂා කර ගැනීම සහ ශ්‍රී ලංකාව පිළිබඳව පිළිබඳ විදේශිකයන් තුල ඇති දුර්මත බැහැර කරවීම ය. මෙහි පැමිණෙන විදේශිකයන් අතරින් උගත් අය ශ්‍රී ලංකාවේ සංස්කෘතිය ගැන සුලු දැනුමක් ඇතිව එන නමුත් වැඩි දැන උගත් කමක් නොමැති සාමාන්‍ය සංචාරකයෝ දුර්මත රාශියක් රැගෙන එති. ශ්‍රී ලංකාව ආර්ථික අතින් එතරම් දියුණු නොවූ රාජ්‍යයක් නිසා ඔවුන් බොහෝ දෙනෙක් සිතනුයේ අප රට සංස්කෘතික අතින් ද නොදියුණු වූවාක් ලෙසිනි. බොහෝ නූගත් යුරෝපීයයන් සිලෝන් හෝ ශ්‍රී ලංකා යනු තේ වර්ගයක වෙළඳ නාමයකියි සිතන බව අසා ඇත.
මෙරට සංස්කෘතික ශ්‍රේෂ්ඨත්වය අවබෝධ කරවීම පිණිස විදේශිකයන්ට පෙන්විය යුතු දේ අතරට පැරණි සංස්කෘතිය ප්‍රතිඵල වන ඓතිහාසික ස්ථාන මෙන්ම නමින් සංස්කෘතිය උසස් නිර්මාණ ද අඩංගු විය යුතුය. පෞරාණික දේ පමණක් පෙන්නුවොත් අපිට ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් ඇතත් වර්තමානයේ තත්වය දින තත්ත්වයක වසන ජනතාවකී යී ඔවුන් සිතන අතර අවඥා සහගත ලෙස අපට සැලකීමට ද ඉඩ ඇත. ඊජිප්තුව, ඉතාලිය, ග්‍රීසිය, චීනය, ඉන්දියා, මැක්සිකෝව, යන රටවල සංචාරකයන් දැක ඇති නමුත් එම රටවල වසන වර්තමාන ජනතාව දීන පිරිසකියි සැලකීමට ඔවුන් පුරුදු වී ඇත්තේ මේ නිසා ය.
මේ රටෙහි සංස්කෘතික ශ්‍රේෂ්ඨත්වය අවබෝධ කරවීම පිණිස විදේශිකයන්ට පෙන්විය හැකි පෞරාණික දේවලින් ප්‍රමුඛ ස්ථානය හිමි වන්නේ අනුරාධපුර පොළොන්නරු යුගවල හෙවත් නුවර කලාවිය සංස්කෘතියේ ශේශයන් වශයෙන් පවතින පුරාවස්තුවලට ය. ගෘහ නිර්මාණ ශිල්පය, චිත්‍ර ශිල්පය, කැටයම් සහ මූර්ති ශිල්පය වැනි කලාවන් යම් සභ්‍යත්වයක ශ්‍රේෂ්ටත්වය මැනීමෙහිලා භාවිත කරනු ලබන නිර්ණායකයන් සේ සලකනු ලැබේ. අනුරාධපුරයේ සහ පොලොන්නරුවේ ඇති දාගැබ් ද, මැදිරිගිරියේ සහ පොළොන්නරුවේ ඇති වටදාගෙවල් ද, පොළොන්නරුවේ පැරණි රජ මාලිගා වල නටඹුන් සහ කුට්ටම් පොකුණ ද, අනුරාධපුරයේ ලෝවාමහාපායේ නටබුන් ද, මහමෙව්නා උයනේ සමාධි පිලිමය සහ අවුකන බුද්ධ ප්‍රතිමාව ද, ඉසුරුමුණියේ ගල් කැටයම් ද, සීගිරි චිත්‍ර ද, මකර තොරන්, සදකඩපහන සහ වෙනත් නොයෙකුත් පුරාවස්තු ද පෙන්වීමෙන් එකල ශ්‍රී ලංකාවේ තිබූ සෞභාග්‍ය සහ සංස්කෘතික ශ්‍රේෂ්ඨත්වය විදේශිකයන්ට දැක්වීමට පුළුවන.
පැරණි වැව් සහ වාරිමාර්ග පෙන්වීමෙන් එකල ශ්‍රී ලාංකිකයන් සතු ව තිබූ ශිල්ප ඥානය අවබෝධ කරවීමට පුළුවන. ජල සම්පාදනය සදහා වාරි මාර්ග තැනීම පැරණි සංස්කෘතීන් පැවති සියලූ රටවල සිදු වූ නමුත් මේ පෞරාණික ජල සම්පාදන කටයුතුවල අග්‍රඵලය ඇති වූයේ ශ්‍රී ලංකාවේ යැයි පෙන්වා දීමට පුළුවන. ශ්‍රී ලංකාවේ පැරණි වැව් වල ඇති බිසෝකොටුව තරම් සාර්ථකව ජලය නිකුත් කිරීම පාලනය කළ හැකි උපක්‍රමයක් වෙනත් කිසිදු රටක නොවීය. එමෙන්ම ශ්‍රී ලංකාවේ යෝධ ඇළට සමකළ හැකි වාරිමාර්ගයක් ඉතිහාසයේ කවර කලකවත් කිසි රටක තනා නොමැත. එකල ජය ගඟ නමින් හැඳින් වූ සැතපුම් 54ක් දිග මේ මගින් කලාවැවේ සිට ඊට වඩා උස් ස්ථානයක පිහිටි අනුරාධපුරයේ තිසා වැවට ජලය ගෙන යයි. මෙය ස්වභාව ධර්මයේ ගුරුත්වාකර්ෂණ සිද්ධාන්තයට විරුද්ධ ලෙසින් පහත් ස්ථානයක සිට උසින් වැඩි ස්ථානයකට ජලය ගෙන යාමකි. විදේශිකයෙකුට මෙය අවබෝධ කර දුන්නොත් ශ්‍රී ලංකාවේ සංස්කෘතික ශ්‍රේෂ්ඨත්වය ගැන වෙනත් විස්තර සැපයීමක් අවශ්‍ය නොවේ.
ශ්‍රී ලංකාවේ සංස්කෘතික ශ්‍රේෂ්ඨත්වය විදේශිකයන්ට පෙන්වීම පිණිස තවමත් ජීවමානව පවතින මහනුවර යුගයේ සංස්කෘතික කටයුතු වලින් ද විශාල ප්‍රයෝජනයක් ගත හැකිය. මේ කටයුතුවලින් ප්‍රමුඛ ස්ථානය මහනුවර ඇසළ පෙරහරට හිමිවෙයි. මෙම පෙරහැර සමස්තයක් වශයෙන් මෙන්ම කොටස් වශයෙන් ද එවකට පැවති සංස්කෘතියේ ලක්ෂණ විදහා දක්වයි. නැටුම් ගැයුම්, බෙර, හේවිසි, හොරනෑ, ධජ පතාක, සේසත් ආදී කලාත්මක විෂයන් රාශියක් මෙහි එක් තැන් වී පවතී. එකල තිබූ ආකාරය ම ආරක්ෂා වී පවතින කලාත්මක භාණ්ඩ තැනීමේ කර්මාන්තයන් ද ශ්‍රී ලාංකිකයන්ගේ ශිල්ප නිපුණත්වය පිළිබඳ අවබෝධයක් විදේශිකයන්ට ලබා දීමට සමත්ය.
යම් රටක ඇති පෞරාණික හා නූතන ගොඩනැංවීම සහ කලාත්මක කටයුතු මගින් රටවාසීන්ගේ සංස්කෘතික ශ්‍රේෂ්ඨත්වය මැනගත හැකි වුවද සංස්කෘතිය යනු මෙපමණක් ම නොවේ. ජනතාවක් වශයෙන් ද සමාජයක් වශයෙන් ද පුද්ගලයන් වශයෙන් ද රට වැසියන් තුළ තිබිය යුතු ශීලාචාරකම, ඉවසීම, අන්‍යෝන්‍ය අවබෝධය, සෙසු අයගේ අයිතිවාසිකම් වලට ගරු කිරීම, සාධාරණත්වය සහ යුක්තිය ගරු කිරීම වැනි ගුණාංග ද සංස්කෘතියක අවශ්‍යම අංගයන් වෙයි. ශ්‍රී ලංකාවට පැමිණෙන සමහර විදේශිකයෝ ශ්‍රී ලාංකිකයන්ගේ ශිෂ්ටත්වය ගැන වැරදි අවබෝධයක් රැගෙන යති.
නාවිකයන් සහ සංචාරකයන්ගෙන් ද විදේශ වල සිටින සමහර ශ්‍රී ලාංකිකයන්ගෙන් ද පොත්පත් සඟරා පුවත්පත් වැනි ප්‍රකාශන මගින් ද ඔවුන් ලබාගත් මෙම අවබෝධය වැරදි හැඟීමක් බව ඔවුහු නොදනිති. විදේශ වල ශ්‍රී ලංකාව ගැන පළ වුණු පොත්පත් කියවූ විදේශිකයන් සිතනුයේ ශ්‍රී ලංකාව ජාති භේදයෙන් ද ආගම් බේදයෙන් ද භින්න වී ගිය නිතර නිතර කැරලි කෝලාහල ඇතිවන වියවුල් රටක් ලෙසින් ය. කොළඹ නගරය වංචාකාරයන්ගෙන් සහ ගැටකපන්නන් ගෙන් පිරි ලෝකයේ ඇති නරකම වරාය බව ඔවුන් සමහරකුගේ අදහසයි.
මෙම වැරදි අවබෝධ දුරුකර ශ්‍රී ලාංකිකයන්ගේ ශිෂ්ටත්වය සහ යුක්ති ගරුක බව ගැන ප්‍රසාදයක් විදේශිකයන් තුල ඇති වන අයුරින් කටයුතු කිරීම විදේශිකයෙකුට මේ රටේ සංස්කෘතික ශ්‍රේෂ්ඨත්වය අවබෝධ කරවීම පිණිස කළ යුතු අවශ්‍යතම කාර්යකි.
Best
ReplyDeleteGreat ✌️
ReplyDelete👌👌👌👌
ReplyDeleteImportant article
ReplyDeleteGreat ❤️
ReplyDelete👌👌👌
ReplyDeleteSuperb ❤️
ReplyDeleteවටින ලිපියක්
ReplyDeletethank you all
ReplyDeletePost a Comment