සිංහල වේදකා නාට්‍යයේ විකාශනය හා වර්තමාන තත්ත්වය

 සිංහල වේදකා නාට්‍යයේ විකාශනය හා වර්තමාන තත්ත්වය

         


                   සිංහල වේදිකා නාට්‍යයේ වර්තමාන තත්ත්වය ගැන කථා කිරීමට පෙර මෙරට නාට්‍ය කලාවේ ආරම්භය හා විකාශනය සිදු වූ අයුරු සඳහන් කළ යුතු වෙයි. ජපානය චීනය වැනි ආසියාතික රටවල මෙන් අඛණ්ඩ නාට්‍ය සම්ප්‍රදායක් ශ්‍රී ලංකාවේ දක්නට නොවී යැයි පැවසේ. එහෙත් අපේ රටේ පැවැති කෝලම්. නාඩගම්, සොකරී වැනි ගැමි නාට්‍යවලත්, ගම්මඩු, දොවොල් මඩු ආදී ශාන්තිකර්ම වලත් ඇතැම් නාට්‍ය ලක්ෂණ ගැබ් විය. මේවා ගැමි නාට්‍ය තත්ත්වයේ ම රැඳී පැවතුණේ උගතුන්ගේ අනුග්‍රහය නොලැබී යාම නිසා ය. 19 වන සියවසේ මැද භාගය වන විට නූර්ති ක්‍රමයේ නාට්‍ය මෙරට ජනප්‍රිය වුණු අතර 20 වැනි සියවසේ තෙවැනි දශකයේ පමණ ජයමාන්න නාට්‍ය හා විශ්ව විද්‍යාලයීය නාට්‍ය බිහිවන්නට විය. ඉහත සඳහන් කරන ලද නාට්‍යයන්ගෙන් මෙන් ම ටවර් හෝල් යුගයේ නාට්‍ය කලාවෙන් ද කාලීන වශයෙන් යම් මෙහෙයක් සමාජයට ඉටු වුව ද පොදුවේ සලකන විට දේශීයත්වයක් හෝ කලාත්මක බවක් ඒවායින් පළ වුණු බවක් නො පෙනේ.

                           මෙරට පාලන තන්ත්‍රයේ මෙන් ම කලා ක්ෂේත්‍රයේ ද විපර්යයාසයන් රැසක් සිදු වන 50 දශකයේ අග භාගය සිංහල නාට්‍ය කලාවේ ද ප්‍රගතියක් සටහන් කරන බව පෙනේ. 1956 දී සරච්චන්ද්‍රයන් අතින් බිහි වුණු මනමේ නාටකය එම පුනර්ජීවයට මග හෙළි කළ නිර්මාණයකි. පෙරදිග මෙන් ම අපරදිග නාට්‍ය කලාවේ මූලිකාංග පිළිබඳ ඒ වන විට මනා වැටහීමක් ලබා සිටි සරච්චන්ද්‍රයන් විසින් දේශීය නාට්‍ය කලාවේ රිද්මය ද හඳුනා ගනිමින් ශෛලිගත සම්ප්‍රදාය අනුව නිර්මාණය කරන ලද මනමේ මෙරට ප්‍රේක්ෂකයන්ගේ සිත් ඇද ගැනීමට සමත් විය. 1961 දී සිංහබාහු නිපදවීමෙන් මෙම ශෛලිය නය තවත් කුළු ගැන්විණි.

                         මේ අතර මෙම නව නාට්‍ය සම්ප්‍රදාය තුළ විවිධ පර්යේෂණ සඳහා අපේ නාට්‍ය ශිල්පීහු ඉදිරිපත් වූහ. හෙන්රි ජයසේනගේ "ජනේලය" හා "කුවේණි " දයානන්ද ගුණවර්ධනගේ "නරිබෑනා, ගුණසේන ගලප්පත්තිගේ " සඳ කිඳුරු " හා "මුදු පත්තු වැනි නාට්‍ය එයින් වැදගත් තැනක් ගත්ත ද බොහෝ නාට්‍ය අනුකරණාත්මක කෘත විය. ශෛලිගත නාට්‍ය සම්ප්‍රදායය තුළින් සමකාලීන අන්දකීම් ඉදිරිපත් කිරීමට නොහැකිය යන්න සිතූ අපේ ඇතැම් නාට්‍යකරුවෝ බාහිර ප්‍රවණතා කෙරෙහි ද විමසිලිමත් වූහ. බ්‍රෙෂ්ට්ගේ රංග ශෛලිය, යුරෝපීය ස්වාභාවික රංග ශෛලිය විකාර රූපී රංග ක්‍රමය ආදිය කෙරෙහි යොමු වූහ. ඒ අනුව 1967 දී බ්‍රෙෂ්ට්ගේ නාට්‍යයක් වන "හුණු වටයේ කතාව" හෙන්රි ජයසේන විසින් වේදිකාවට නැංවීම මෙරට නාට්‍ය කලාවේ සැලකිය යුතු ප්‍රවණතාවකි.

                           ඉහත සඳහන් කරන ලද සෑම රංග ශෛලියකම බලපෑම් වර්තමානය දක්වා අපේ නාට්‍ය ක්ෂේත්‍රයෙහි නොනැසී පවත්නා බව පෙනේ. මනමේ රීතිය තව දුරටක් යොදා ගනිමින් 1981 දී සරච්චන්ද්‍රයන් විසින් ලෝමහංස නිපදවනු ලැබීය. බ්‍රෙෂ්ට් රංග ශෛලිය අනුගමනය කරමින් 1985 දී හෙලෙනා ලෙහ්තුමකි විසින් නිපදවන ලද පුන්තිලා දි විශිෂ්ට ගණයේ කෘතියකි. එමෙන්ම සෝමලතා සුබසිංහගේ "විකෘති", ඩග්ලස් සිරිවර්ධනගේ සුභ සැන්දෑවක් " මෙන් ම චෙරි උයන, කැළණි පාලම, සුබ සහ යස, පාතාලේ සොල්දාදුවෝ, මකරාක්ෂයා, ගැලීලියෝ, හිට්ලර් වැනි කෘති නාට්‍ය කලාවේ වැදගත්ම සලකුණු ය.

                              සිංහල නාට්‍ය විශාල ප්‍රමාණයක් මෙකල දිනපතා ම වේදිකා ගත වෙයි. විශාල ප්‍රේක්ෂක සමූහයක් නාට්‍ය ශාලා වලට එක් රැස්වෙති. එහෙත් මේ හේතූන් දෙස බලා අද නාට්‍ය කලාව දියුණ යැයි කිව නොහැකි ය. මේ සා විශාල නාට්‍ය සමූහයක් නිර්මාණයෙහි නිරත වන පිරිසෙන් බහුතරය කරුණයෝ  නාට්‍ය කලාව ගැන තුලනාත්මක අවබෝධයක් ඇතත් මේ අතර ඇත්තේ සුළුතරයකි. පෙරාපරදිග රංග කලාව පිළිබඳ පටුත්වයක් බොහෝ අයට නැත. ඔවුහු සුලභ ජනප්‍රියත්වය ලුහු බඳිති, බොහෝ ප්‍රේක්ෂකයන් නාට්‍ය ශාලා කරා එන්නේ සුදු විනෝදය පතාය. ගෑඹුරු නාට්‍යමය ආස්වාදයක් ලැබීම හෝ උසස් කලා රුචිකත්වයක් ලබා ගැනීම ඔවුන්ගේ අරමුණ නොවේ.

                        නාට්‍යයක් නිෂ්පාදනය කිරීම සඳහා අද රුපියල් ලක්ෂ ගණනක් වැය කිරීමට සිදුවේ. මෙය ඉතා දුෂ්කර කාර්යයකි. මේ සා මුදලක් වැය කොට උසස් නාට්‍යයක් නිපදවුව ද ප්‍රේක්ෂක ප්‍රතිචාරය නොලැබී යයි. නාට්‍ය සඳහා නිෂ්පාදනයෙන් අනුග්‍රහය දක්වීමට ව්‍යාපාරිකයක් ද උත්සහ ගන්නේ ආදායමක් උපයා ගැනීමට හැකි නම් පමණි. දෙපිට කැපෙන වචන, මුඛරි වදන් වලට ඇතුළත් කොට හාස්‍යය දනවීමට ඇතැම් තම නාට්‍ය නාට්‍ය කරුවෝ ප්‍රයත්න දරති.

                             අද රූපවාහිනී හා චිත්‍රපට නළුනිළියෝ ද නාට්‍ය වේදිකාවට පිවිස සිටිති. ඇතැම් චිත්‍රපටි නළුනිළියෝ ද නාට්‍ය නිෂ්පාදනයට ද පෙලඹී සිටිති. චිත්‍රපට හා නාට්‍ය යනු මාධ්‍යයන් දෙකක් බැවින් මේ දෙඅංශයට අයත් ශිල්ප ක්‍රම මුසු කර ගැනීම් නාට්‍ය කලාවේ පැවැත්මට හා ගුණාත්මක වර්ධනයට හානිකරය.

                         අද්‍යතන නාට්‍ය කලාවේ මෙවැනි දුබලතා අවබෝධ කොටගෙන කටයුතු කිරීම මෙම මාධ්‍යයෙහි දියුණුව සඳහා අතිශයින් හේතු වේ. උසස් නිර්මාණ තෝරා ඒවා රැක ගැනීමට ධනවාදී රටවල නොයෙක් උපක්‍රම යොදනු ලැබේ. එවැනි දෙවලින් පොදු ජනතාවගේ රුචිකත්වය ඉහළ මට්ටමකට ගෙන ආ හැකි ය. එහෙත් අද සිදු වන්නේ බොහෝ විට පහත් රුචිකත්වයට තැන ලබා දීම යි. බුද්ධිමත් ප්‍රේක්ෂකයන්ගේ අවමානයට පාත්‍ර වී ඇති ඇතැම් නාට්‍යවලට දහසින් බැඳි පියලි හා සම්මාන පුද කෙරෙන අතර රජයේ ජනසන්නිවේදන මාධ්‍ය තුළින් පුළුප්‍රචාරයක් ද ලබා දෙයි. මේ ප්‍රචාරයන් නිසා බොහෝ දෙනා මුළා වන අතර නාට්‍යයක නියම ස්වරූපය කුමක් දැයි වටහා ගැනීමට ඔවුන්ට නොහැකි වෙයි. අපේ නාට්‍ය කලාව සඳහා ක්‍රමවත් විචාර කලාවක් නොතිබීමේ අඩු පාඩුව පෙනී යන්නේ මෙහි දීය.

                             නාට්‍ය කලාවේ වර්ධනය සඳහා රජයට ගත හැකි පියවර කීපයක් ඇත. ඉහළ මට්ටමේ නිෂ්පාදන වශයෙන් පිළිගෙන ඇති නාට්‍ය සඳහා උත්සව වරින් වර සංවිධානය කිරීමත් කලාත්මක නාට්‍ය නිෂ්පාදනය සඳහා ශිල්පින් දිරි ගැන්වීමත් ඒ අතර මුල් වේ. මේ තුළින් ප්‍රේක්ෂකයන්ගේ රුචිකත්වය වර්ධනය ද කළ හැකිය.

                         අද ඇතැම් කුසලතා පූර්ණ නාට්‍යකරුවෝ ව්‍යාපාරික නාට්‍යකරුවන්ගේ පීඩන අභියස මහත් අසරණ තත්ත්වයට පත් ව සිටිති. මුදල් උපයා ගත හැකි ජනප්‍රිය නාට්‍ය නිර්මාණයට නොපෙලඹී වාණිජ රැල්ල තුළ කෙළින් සිටීමට දෘෂ්ටිමය වශයෙන් ඔවුන් තුළ පවත්නා හැකියාව වුව ද සුවිශේෂ වැදගත්කමකි. මෙවැනි නාට්‍යකරුවන්ගේ නිර්මාණ සඳහා ද අවධානය යොමු වීම අවශ්‍ය වේ. නාට්‍ය සඳහා අවශ්‍ය නළු නිළියන් පුහුණු කිරීම සඳහා පොදු ආයතනයක් නොතිබීම ද තවත් ප්‍රධාන ගැටලුවකි. මෙවැනි දුෂ්කරතා පිළිබඳ ව සිත යොමු කරමින් නාට්‍ය කලාවේ ප්‍රගතිය සදහා ඇප කැපවීම රජයේත්, නාට්‍ය රචක ප්‍රේක්ෂක විචාරක පිරිසගේත් විශාල වගකීමකි.

4 Comments

Post a Comment

Previous Post Next Post