මතට තිත

මතට තිත


        මත් පැන් නිපදවීම වෙළදාම් කිරීම සහ පාවිච්චි කිරීම නීති මඟින් තහනම් කළ යුතු යැයි යන උද්ඝෝෂණය ලෝකයේ බොහෝ රටවල නොයෙක් කාලවල දී පැන නැගී ඇත. දෙවැනි ලෝක යුද්ධයට පෙර යුගයේ හි දී ශ්‍රී ලංකාවේ ද අමද්‍යප ව්‍යාපාරයක් පැවතිණි. දැනුදු මත්පැන් නීති මඟින් තහනම් කළ යුතු යැයි වරින් වර ප්‍රකාශ කරන භික්ෂූන් වහන්සේලා සහ ගිහි නායකයෝ ශ්‍රී ලංකාවේ සිටිති. මත්පැන් මුළුමනින්ම නීති මඟින් තහනම් කළ රටවල් කිහිපයක් ලෝකයේ ඇත. පළාත් කිහිපයක පමණක් නොව මත්පැන් තහනම ක්‍රියාත්මක කරන රාජ්‍ය  කිහිපයක්ද ඇත. එහෙත් බොහෝ රටවල මත්පැන් තහනමක් ක්‍රියාත්මක නො කෙරෙයි.

    ශ්‍රී ලංකාවේ වර්තමාන මධ්‍යසාර ප්‍රතිපත්තිය ඒකාකාරී වූවක් හෝ පුරවැසියන් සියළු දෙනාට එක සේ බලපාන්නක් හෝ පැහැදිලි වූවක් නොවේ. ශ්‍රී ලංකාවේ මත්පැන් නිපදවීම සඳහා විකිණීම පිළිබඳ තහනම බලපාන්නේ කිහිපයකට පමණි. විදේශීය මත්පැන් වර්ග මෙම තහනමට හසු නොවීම මෙම ප්‍රතිපත්තියේ ඇති හාස්‍ය ජනක කොටසයි. සුරාබදු දෙපාර්තමේන්තුව මත්පැන් මගින් විශාල ආදායමක් ලබයි. නීති විරෝධී මත්පැන් වල නිෂ්පාදනය සහ අලෙවිය ගැන ඇස්තමේන්තු කිරීම තවම සිදු වී නොමැත.

     මත්පැන් මුළුමනින්ම තහනම් කළ යුතු යැයි යන උද්ඝෝෂණය නැගෙන්නේ එය සර්ව සම්පූර්ණයෙන් සහ සාකල්‍යයෙන් ම මිනිස් වර්ගයට අහිතකර දෙයක්ය යන පිළිගැනීම මතය. මත්පැන් පාවිච්චිය නිසා මිනිසුන් අපරාධ වලට පෙළඹේ ඇයි තර්ක කරන මත්පැන් විරෝධීහු ගේ ශරීර සෞඛ්‍ය පිරිහීමට හා ධන හානියට හේතු වන බව පෙන්වා දෙති. සියලු ශාස්තෘවරුන් මත්පැනින් වැළකෙන ලෙස සිය ආගමිකයන්ට අවවාද කර ඇත්තේ මේ නිසා විය යුතු ය. මේ පිළිගැනීමෙහි විශාල සත්‍යයක් ගැබ් වී ඇති බව බැලූ බැල්මට බොහෝ දෙනෙකුට පෙනී යයි.

    මත්පැන් පානය නිසා සිහි විකල්ව අපරාධ වලට පෙලඹුණු අය දහස් ගණනක් බන්ධනාගාරවල සිටිති. මත් පැන් පානයෙන් පසු අන්‍යයන්ට කරදර කරන අය සෑම සමාජයකම සුලබ දර්ශනයකි. මත්පැන් පානය නිසා ම හෝ ඒ පාවිච්චි කිරීමෙන් පසු සූදුවට යාම නිසා ආර්ථික කරදර ඇති කර ගත් පුද්ගලයන් ද බහුල ය. මත්පැන් අධික ලෙස භාවිත කිරීම නිසා ලෙඩ රෝග ඇති කර ගත් පුද්ගලයන් ද බොහෝ සිටිති. මේ සාධක නිසා මත්පැන් පාවිච්චිය බරපතළ වරදක් ලෙස  හඳුන්වන්නවුන් අමතක කරන වෙනත් කරුණක් ඇත. එනම් ලෝකයේ මත්පැන් භාවිත කරන පුද්ගලයන්ගේ සංඛ්‍යාවෙන් ඉතා වැඩි දෙනෙකු මේ දුර්විපාක කිසිවකුට ගොදුරු වී නොමැති බවය. මෙම වැරදි වලට පෙළඹී ඇති අයගේ සංඛ්‍යාව ලෝකයේ මත්පැන් පානය කරන අයගේ සංඛ්‍යාවෙන් සුළු ප්‍රතිශතයක් පමණි.

    මත්පැන් පානය කරන අයගෙන් ඉතා වැඩි දෙනෙකු එයින් බලාපොරොත්තු වන්නේ ජීවිතයේ ඇති ඒකාකාරී බව හෝ පාළු ගතිය හෝ තෙහෙට්ටුව මගහරවා ගැනීමටය. එසේත් නැතහොත් තමන්ට මුහුණ පෑමට ඇති කරදර මඳ වේලාවක් අමතක කිරීමට ය. මෙම අවශ්‍යතාවය සඳහා ඉඳහිට මත්පැන් සුළු ප්‍රමාණයක් පානය කිරීමෙන් බොහෝ දෙනෙකුට අවැඩක් සිදු නොවන බව ඔප්පු කළ හැකි කරුණකි.

     එහෙත් මත්පැන් එහි විශේෂ ලක්ෂණ විවිධ  පුද්ගලයන් කෙරෙහි විවිධ ලෙස ක්‍රියාත්මක වීමයි. මත්පැන් යන්තමින් හෝ පානය කළ විට සමහර පුද්ගලයන් ගේ සිහි විකල් වෙයි. මත්පැන් පානය සිදුවන ප්‍රයෝජනයට වඩා එයින් සිදුවිය හැකි හානිය විශාල හෙයින් මත්පැනින් වැළකී සිටීම බොහෝ දෙනෙකුට වඩාත් පහසු ය.

    මත්පැන් පානය අයහපත් කටයුත්තක් යැයි සලකා එය නීති මගින් තහනම් කිරීම එහි යුක්ති සහගත වූවක් දැයි යන ප්‍රශ්නය මෙහිදී සලකා බැලීමට සිදුවේ.  තමා විසින් කළ යුතු දේ සහ නොකළ යුතු දේ කුමක් දැයි අවබෝධයකින් යුක්තව තීරණය කිරීමේ බලය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක වසන සියලු වැඩිහිටි පුරවැසියකුට ම තිබිය යුතු මූලික අයිතිවාසිකමකි. ප්‍රශ්නයෙහි පැත්තක් පමණක් දැකීමට පුරුදුව සිටින පූජකයන්ට හෝ ජනප්‍රිය භාවය ලබා ගැනීමේ ලාභ මාර්ග සොයමින් සිටින නායකයන්ට අවශ්‍ය වූ පලියටම සෙසු බොහෝ දෙනකුගේ රුචි අරුචිකම් නොසලකා මත්පැන් තහනම් කිරීම පුරවැසි අයිතිවාසිකම් මරා දැමීමකි. අමද්‍යප ව්‍යාපාර වල නියැලී වේදිකාවල මත්පැනට විරුද්ධව කතා පැවැත් වූ බොහෝ දෙනා ද බලපත්‍රලත් තැබෑරුම් සියල්ල වසා දමන ලෙස ඉල්ලමින් ඇමතිවරුන් වෙත සංදේශ ඉදිරිපත් කරන බොහෝ දෙනා ද මත්පැන් වැළකුණු අය නොවන බවද නොරහසකි.

     මත්පැන් නීති මඟින් තහනම් කිරීම ප්‍රායෝගික වශයෙන් ක්‍රියාවට නැංවිය හැක්කේ දැයි යන ප්‍රශ්නය සලකා බැලිය යුතුය. මිනිසුන් මත්පැනින් මුදවාලීම නීති මඟින් කළ  නොහැක්කක් බව ඔප්පු වී ඇත. රජයෙන් ලබා ලබා ගත් බලපත්‍ර උඩ නිපදවනු ලබන සෞඛ්‍යයට අහිතකර නොවන මත්පැන් පානය කිරීමට අවස්ථාව නැති කර දැමීම නීති විරෝධී ලෙස නිපදවා අධික මිල ගණන් වලට සපයනු ලබන සෞඛ්‍යයට අහිතකර වූ මත්පැන් භාවිතය සඳහා මිනිසුන් පෙළඹ වීමට හේතු වන බව ඔප්පු වී ඇත. නීතියෙන් තහනම් කිරීම මත්පැන් පානය  අත්හදා බැලීමේ අදහසින් ආරම්භ කිරීමට සමහර තරුණයන් පෙළඹීමට හේතු වන කරුණක්  බව ද සමස්ත වශයෙන් බලන විට  මත්පැන් පාවිච්චි කරන අයගේ සංඛ්‍යාව වැඩි වීමට හේතු වන බව පෙනී ගිය බැවින් එක්සත් ජනපද රාජ්‍යය සිය රටෙහි පනවා තිබුණ මත්පැන් තහනම් කිරීමේ නීති අස්කර ගත්තේ.

     ශ්‍රී ලංකාවේ මෙන් ඒ රටේහිත් මේ තහනම තිබුණේ ස්වදේශිකයන්ට ය සුදු ජාතික මහත්වරුන්ට තහනමක් නොතිබිණි. අමද්‍යප ව්‍යාපාරයක් ශ්‍රී ලංකාවේ නොතිබුණි නම් ආරෝග්‍ය ශාලාවල සහ ගම් වල සිටින රෝගීන්ගේ සංඛ්‍යාව මෙයට වඩා බෙහෙවින් අඩු වීමට ඉඩ තිබුණු අතර කසිප්පු මුදලාලි ලා ලා ඇතිවීමේ අවකාශයක් නැති ව ගොස් ඔවුන්ගෙන් සිදුවන දුරින් ගැලවෙන්නට ද රටට අවස්ථාවක් සැලසෙනු ඇත.


13 Comments

Post a Comment

Previous Post Next Post