පිරිහෙන විනය හා පාසල

 පිරිහෙන විනය හා පාසල



      විනය පිරිහීම වර්තමාන යුගයේ සියලු ජන සමාජවල සෑම වයස් සීමාවකට අයත් අය අතර දක්නට ලැබෙන පොදු උපනතියකි. එහෙත් මෙය ගැටවරයන් අතර වඩාත් බහුල ලෙස ව්‍යාප්ත වී ඇත. නූතන ගැටවරයන් අතුරින් බොහෝ දෙනා පාසැල් සිසුන් නිසා ඔවුන්ගේ විනය පිරිහීමට වගකිව යුත්තේ පාසල දැයි යන ප්‍රශ්නය පැන නැගේ.


         ගැටවර වයසෙහි අයගේ විනය පිරිහී ඇතැයි ද එය තවදුරටත් පිරිහෙමින් පවතී ද යන්න කීම පිණිස ඇති සාධක මොනවා දැයි යන්න විමසීම මෙහිදී කළ යුතුව ඇත. ගැටවර වයසේ අය අතර ආචාරශීලී ආචාරශීලීභාවය බෙහෙවින් විරල ගුණාංගයක් බවට පත් පත්වී ඇත. පෙළපාලි සහ උද්ඝෝෂණ වලට උද්ඝෝෂණවලට ඔවුහු අවබෝධයක් නොමැතිව සහභාගි වෙති. ආගමානුකූල ජීවිතය ඔවුන් අතරින් ගිලිහෙමින් පවතී. ශිෂ්ට යයි සම්මත සමාජ ධර්ම වලට විරුද්ධ ලෙසින් ඔවුහු ප්‍රසිද්ධියේ හැසිරෙති. නීත්‍යානුකූල  නොවූ දරු උපත් ද සියදිවි නසා ගැනීම ද නීති විරෝධී කටයුතු ද අපරාධ ද වර්ෂයෙන් වර්ෂය ඔවුන් අතර වැඩි වැඩියෙන් සිදු වෙයි.මේ නිසා ඔවුන්ගේ විනය පිරිහී ඇතැයි තීරණය කිරීම සාධාරණ වූවකි. 


       සියලු රටවල වර්තමාන ගැටවර පිරිස දෙවැනි ලෝක යුද්ධයෙන් පෙර විසූ අයට වඩා බෙහෙවින් වෙනස් වූ පුද්ගලයන් යැයි යන්න ඔප්පු කළ හැකි කරුණකි. නමුත් එහි දියුණුවක් ලෙස හඳුන්වන අය ද ද විරල නොවේ. මෙම පරිහානියට හේතු වූ සාධක රාශියක් ඇති අතර පාසල එයින් එකක් ලෙස හැඳින්වීම වැරදි නොවේ.


       පුද්ගලයකුගේ හෝ සමාජයක විනය කෙරෙහි ද  හික්මීම සහ සදාචාරය කෙරෙහි ද ආර්ථික සාධක වල බලපෑම අති මහත් වූවකි. ශ්‍රී ලංකාවේ තරුණ පරපුර ඉතිහාසයේ කවර කලකවත් නොවූ විරූ අන්දමේ ආර්ථික දුෂ්කරතාවයකට ද අනාගතය පිළිබඳ අවිනිශ්චිත භාවයකට ද ගොදුරු වී සිටිති. රක්ෂා හිඟය සහ ජීවන වියදම ඉසිලිය නොහැකි තරම් උග්‍ර වීම මෙයට හේතුවයි. මේ ඉරණමට ගොදුරු වූවන් මෙන්ම ගැටවර වයසේ සිටින පාසල් ළමුන්ට තමන්ට බලාපොරොත්තු තැබිය හැකි අනාගතයක් නොමැති බව දනිති. ඔවුන් බොහෝ දෙනාට වර්තමානයේ වුවද ආහාර පාන, ඇඳුම් පැළඳුම්, නිවාස, පොත්පත් සහ උපකරණ සහ බස් ගාස්තු  ආදිය ප්‍රමාණවත් තරමින් හරියාකාරව ලබා ගැනීමට මුදල් නොමැත. අනාගතය මෙයටත් වඩා දරුණු වන බව මෙන්ම අඳුරු වන බව ද මොවුහු දනිති. 


        රටට තමන් අවශ්‍ය යැයි යන හැඟීම ඇතිවිය යුතු වයසේ දී ඔවුන්ට ලැබෙන්නේ තමන් කිසිම වගකීමක් දැරීමට සුදුසු නැතැයි බලවතුන් විසින් තීරණය කර තිබේ දැයි යන හැඟීම ය. වගකීම් ඉසිලීමේ ආශාව ඇතිවන වයසේදී ඔවුන්ට ලැබෙන්නේ තමන් කිසිම තැනකට අවශ්‍ය නැතැයි යන හැඟීමයි. මෙයින් ඇති වූ ව්‍යාර්ථකභාවය, කලහකාරීත්වය වැඩිවීම සහ විනය පිරිහීමට හේතු විය. නිදහස ලබා ගත් මුල් අවධියේ සිටි පාලකයන්ගේ අදූරදර්ශී ආත්මාර්ථකාමී භාවය හේතුකොට ගෙන ශ්‍රී ලංකාවේ ඇති වූවක් මිස විදේශිකයින් ආනයනය කළ එකක් නොවන බව මතක් කර දිය යුතුව ඇත.


       වීරත්වයට පත් කළ වුන් පිදීම සහ අන්ධ ලෙස අනුකරණය කිරීම ලෝකයේ සියලු රටවල සියලු කාලවල දී ම විසූ තරුණයන් ගේ සිරිත වූයේ ය. මා ඕ සේතුං, හෝ චි මිං, චේ ගුවේරා, පිදෙල් කස්ත්‍රෝ වැනි අයගේ අදහස් අවබෝධයකින් තොරව ගරු කිරීම ද ඔවුන්ගේ  ක්‍රියාමාර්ගයන් අනුගමනය කිරීමට තැත් කිරීම ද වර්තමාන කලහකාරීත්වය ට එක් හේතුවක් වී ඇත. හැඟීම් කුපිත කරවා තරුණයන් කෝලාහල වලට පෙළඹවීම ඉතා පහසු කටයුත්තක් වන අතර තමන් කැපී පෙනීම පිණිස ද වීරත්වයට පත් වීම පිණිස ද සමහර අවස්ථාවලදී තරුණ පරපුරේ නායකයෝ මේ පහසු මාර්ගය තෝරා ගනිති. මෙය වැඩියෙන්ම සිදුවන්නේ විශ්වවිද්‍යාල තුළ දී ය.


         ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රම දෙකක් ඇති බව ගැටවර පිරිස දනිති. නාගරික උසස් පාසල් වල ප්‍රයෝජනවත් විෂයයන් ද ඉංග්‍රීසි භාෂාව ද ඉගැන්වෙන අතර අධ්‍යාපනය අවසානයේ දී රක්ෂාවක් සොයා ගැනීමට ද පුළුවන් වෙයි. ග්‍රාමීය පාසල්වල අධ්‍යාපනය ස්ව භාෂාවෙන් කෙරෙන අතර ප්‍රයෝජනවත් විෂයයන් ද ඉංග්‍රීසි භාෂාවද ඉගැන්වෙන්නේ නැත. අධ්‍යාපනය අවසානයේ දී රක්ෂාවක් සොයා ගන්නට පුළුවන් වන්නේ ද නැත.  කොතෙක් දුරට ඉගෙන ගෙන තිබුණත් අන්‍යයෝ අවලාද සහගත ලෙස මේ පාසල් වලින්  පිටවන තරුණ තරුණියන් දෙස බලති. 


       වරප්‍රසාද ලත් දරුවන් ටික දෙනා වෙනුවෙන් එක් අධ්‍යාපනයක් ද බහුතර කොට්ඨාසය වූ පීඩිත පන්තියේ දරුවන්ට ඊට වඩා පහත් අධ්‍යාපනයක් ද දෙනු ලැබෙතත් මේ සියල්ලන්ට ම වැය කෙරෙනුයේ මහජන මුදල්ය. රක්ෂා සඳහා පුද්ගලයන් තෝරා ගන්නේ ද මෙයට සමාන පදනමක් මතය. මෙම කූටෝපක්‍රමයන් ගැන දන්නා නිසා ද ඒවා සාධාරණත්වය  කට පමුණුවාලීම ට ශක්තියක් නැති නිසාද තරුණ ගැටවර පිරිස කලහකාරීත්වය ට පෙළඹෙති. ආහාරපාන,  පොත් පත්, ඇඳුම් පැළඳුම්, පවා මිලට ගැනීමට ශක්තියක් නැති තමන්ට රජය  විසින් කුඩම්මාගේ සැලකිල්ල දක්වන නමුත් කුමාර සැප විදින ධනවත් සිසුන්ට රජය තව තවත් වරප්‍රසාද දෙනු දකින ගැටවරයන් තුළ ද්වේෂයක් හා කෝපයක් ඇති වීම ස්වභාව ධර්මයට එකඟ දෙයකි. රැස්වීමක් පාසා ගොස් බැණ වැදීම  මෙන් මෙවැනි ප්‍රශ්න වලට මුහුණ දී සිටින අයට සැනසීමට නුපුළුවන. 


        විශේෂ ළැදියාව නිසා නොව රක්ෂා හිඟකම නිසාම ගුරු වෘත්තිය තෝරා ගත් අයට තදබදය අධික පාසල් වල දැඩි විනයක් පවත්වා ගැනීම කළ නොහැක්ක කි. විභාග සඳහා තමන්ට නියමිත විෂයන් ඉගැන්වීම මිස සදාචාරය හුරු පුරුදු කිරීම වර්තමාන ගුරුවරුන්ට කළ හැකි කටයුත්තක් නොවේ. ගුරුවරුන් තරම්  දේශපාලනඥයන්ගේ සහ නිලධාරීන්ගේ අතවරවලට ගොදුරු වන පිරිසක් ශ්‍රී ලංකාවේ තවත් නොමැත. රක්ෂාව ආරක්ෂා කර ගැනීම,  සමාජය හැඩ ගැස්වීමට වඩා වැදගත් කරුණක් ලෙස සැලකීමට ඔවුන්ට සිදුවී ඇත. වරද ගුරුවරුන් අත නොවූවත් ගැටවර වයසේ විනය පිරිහීමට මෙය ද ප්‍රධාන හේතුවක් වී ඇති නමුත් මේ පිළිබඳව මුළු වගකීම පාසල් වලට ද පැවරිය නොහැකිය.


       නූතන යාන්ත්‍රික යුගයේ වාණිජ ජීවන ක්‍රමය පැරණි සමාජ ධර්මතා බිඳ දමමින් ඇමරිකාවේ සිට ලෝකයේ සෙසු රටවලට පැතිර ගියේය. " ඩොලර් දෙවියන් " පුදන මේ සංස්කෘතියට ශ්‍රී ලංකාව ද ගොදුරු වූයේය. මෙයට ගොදුරු වී ආර්ථික අපහසුකම් වලට මුහුණ දුන් අයට ගුණධර්ම ගැන තැකීමට පුළුවන් කමක් නොමැති වූයේ ය. බඩ වියත සොයා ගැනීම ගුණධර්ම රැකීමට වඩා වැදගත් හෙයින් එසේ සිදු වූයේ ය. සමහරු ධනය රැස් කිරීම සඳහා ම ගුණධර්ම ගැන නොසලකා ක්‍රියා කරන්නට වූ අතර අනාගත ශිෂ්ටාචාරයට තමන්ගෙන් සිදු වන හානිය ගැන නොතැකූ හ.


           ලිංගික හැගීම් කුපිත කර වීමට ඉවහල් වන චිත්‍රපට ද  පොත් පොත් පත් හා සඟරා ද වෙළඳ දැන්වීම් ද ගුවන් විදුලිය හා රූපවාහිනී වැඩසටහන් ද ඇඳුම් මෝස්තර ද තොර තෝංචියක් නැතිව ගලා ඒම මෙහි ප්‍රතිඵලය වූයේ ය. ආරම්භයේ සිට ම සමාජ පැවැත්මෙ හි අවශ්‍යතාව සලකා යටපත් කරනු ලැබූ මූලික මනුෂ්‍ය ආශාවන් ක්‍රියාත්මක කිරීමට ගැටවර පිරිස ඉදිරිපත් වීම මෙහි අනිවාර්ය ප්‍රතිඵලය වශයෙන් සිදු වූයේය. ඔවුන් වීරත්වයෙන් සැලකීමට පටන් ගත් චිත්‍රපට නළුවන්, සංගීතඥයන් වැනි අය පුද්ගලික වශයෙන් අන්ත දුරාචාරයට ඇබ්බැහි වූවන් ය. චිත්‍රපට වල ද  වීරකම් ලෙස පෙන්වන්නේ හොරකම්,  ජඩකම්, මැරකම් සහ වල්කම් ය. හික්මීම දුර්වලකමක් ලෙස ඒවායේ දැක් වේ. වීරයන් පිදීම සහ අනුකරණය කිරීම තරුණයන්ගේ සිරිත යි. එහෙත් සෝචනීය තත්වය නම් ඔවුන් තෝරා ගෙන ඇත්තේ වැරදි වීරයන් වීම ය. 


          ගැටවර වයසේ විනය පිරිහීමට සාධක රාශියක් හේතු වී ඇති බව මෙයින් පෙනී යයි. වෙන් වෙන් වශයෙන් දක්වා ඇතත් මේ සාධක ක්‍රියාත්මක වන්නේ සංකීර්ණ ලෙස එකිනෙක හා මිශ්‍ර වූ ආකාරයෙ නි. පාසල මේ සාධක වලින් එකක් පමණි. එනිසා ගැටවර වයසේ පිරිහෙන විනය ට පාසල ම වගකිව යුතු යැයි දොස් පැවරීමෙහි සාධාරණ කමක් නොමැත .

8 Comments

  1. දරුවකුගේ විනය පිරිහීමට "මානව හිමිකම " කියන සංකල්පය ගොඩක් ඉවහල් වෙනවා. එදා සමාජයේ ගුරුවරයෙක් ළමයාට තරවටුකර හොද මාර්ගය පෙන්නුවා නමුත් අද ගුරුවරයා මානව හිමිකම කියන රාමුවට කොටුවී දරුවන්ට තරවටු කිරීමටද පවා ප්‍රතික්ෂේප කරයි. එවන් සමාජයක විනය පිරිහීම සුලබ දර්ශනයකි.

    ගොඩක් හොද කරුණු ටිකක්.... ❤️

    ReplyDelete

Post a Comment

Previous Post Next Post