සම්මත සිංහලයක්....

 සම්මත සිංහලයක්....



             සිංහල භාෂාව ලිවීමේ දී එක්තරා සම්මත ක්‍රමයක් අනුගමනය කිරීමට ලේඛකයන් පෙළඹවිය යුතු දැයි යන්න ගැන පරීක්ෂා කර බැලීම සම්මත සිංහලයක් අවශය දැයි යන්න විමසීමෙන් අපේක්ෂා කරනු ලැබේ. සම්මත සිංහලයක් සකස් කර නීති ගත කිරීම පිණිස ගනු ලබන උත්සාහයට විරුද්ධ වූ බොහෝ ලේඛකයෝ විශාල උද්ඝෝෂණයක් රට පුරා ඇති කළහ.

                සම්මත සිංහලයක් ඇති කිරීමට හෙවත් සිංහල ලිවීමේ දී එක්තරා සම්මත ක්‍රමයක් අනුගමනය කරන ලෙස ලේඛකයන්ට බල කිරීමට පක්ෂව දැක්විය හැකි සාධක ද, එයට විපක්ෂ ව දැක්විය හැකි සාධක ද කිහිපයක් ඇත.

                   ලේඛන කලාවේ පරමාර්ථය තමන් දන්නා ආකාරයට ලිවීම නොව කියවන්නාට පැහැදිලි ලෙස අවබෝධ වන අයුරින් ලිවීමය. මත භේදයකින් හෝ ද්විත්වාර්ථයකින් තොරව කිහිප ආකාරයකට විග්‍රහ කළ නොහැකි ලෙස නියත අර්ථයක් අවබෝධ වන පරිදි ලිවීමට නම් භාෂාවේ එක්තරා සම්මත ක්‍රමයක් තිබිය යුතුය. භාෂාවේ ප්‍රභේද රාශියක් තිබෙන විට සාමාන්‍ය උගත්කමකින් යුත් පාඨකයන්ට අවබෝධ කර ගැනීමේ අපහසුකමක් ඇති වෙයි. මෙයට උදාහරණය හෙළ හවුලේ බසයි. එය තේරුම් ගත හැක්කේ පාඨක ජනයාගෙන් අල්ප දෙනෙකුට පමණි.

                   සිංහලය ලිවීමේ දී අනුගමනය කරනු ලබන ප්‍රභේද රාශියක් තිබේ. වියරණ තදින් ම අනුගමනය කරණ න ළ ල භේද පවා සලකමින් සරල ව්‍යාකරණ අනුගමනය කරමින් භාවිත භාෂාවෙන් ලිවීම, දඹදෙනි යුගයේ භාෂාවෙන් ලිවීම, අනුරාධපුර යුගයේ තිබී මළ භාෂාවක් බවට පත් වූ හෙළ භාෂාවෙන් ලිවීම, කථා ව්‍යවහාරයේ පවතින වෙනස් වෙනස් ලක්ෂණ වලින් යුත් භාෂාවෙන් ලිවීම යනාදී වශයෙන් ප්‍රභේද රාශියක් පෙන්වීමට පුළුවන. ලේඛකයන්ගේ සංඛ්‍යාව වැඩි වත්ම ලිඛිත භාෂාවේ ප්‍රභේද සංඛ්‍යාව ද වැඩි වෙයි.

                 කථා ව්‍යවහාරයේ පවතින සිංහලය ලිවීම ජනප්‍රියතාවෙන් වැඩි වෙමින් පවතිතත්, ව්‍යවහාර භාෂාව පළාතෙන් පළාතට සහ සමාජයෙන් සමාජයට තරමක් වෙනස්කම් වලින් යුක්ත ව හැඩ ගැසී ඇත. මෙම වෙනස්කම් අවශේෂ පළාත් වල අයට සහ සෙසු සමාජවලට අයත් වූවන්ට අවබෝධ කර ගැනීමට අපහසු වීමට ඉඩ ඇත. ලිවීමේ අදහස සිංහල කියවන සියල්ලන්ට අවබෝධ කර ගත හැකි ආකාරයකින් අදහස් ලේඛනයට නැංවීම හෙයින් මේ විවිධත්වය එයට හානිකර වෙයි එක් එක් ගුරු කුලය එක් එක් ප්‍රභේදය .. අනුකරණය කර ලිවීමෙන් සිදු වන්නේ ද එම ගුරු කුලයේ භාෂා ප්‍රභේදය නොදත් අයට ඒවා කියවා අවබෝධ කර ගැනීමට නුපුළුවන් තත්වයක් උද්ගත වීමයි.

                     භාෂා ඛණ්ඩ කිහිපයකට අනුව ලිවීමෙන් සිදු වන්නේ ගුරුවරුද, ශිෂ්‍යයන් ද, අනාගත පරම්පරාව ද අපහසු තත්වයකට ඇද දැමීමයි. තමන් ඉගෙන ගත යුත්තේ ද ඉගැන්විය යුත්තේ ද කුමන ප්‍රභේදය දැයි යන්න ශිෂ්‍යයන්ට හා ගුරුවරුන්ට ගැටලුවක් වීමට ඉඩ තිබේ. දැනට පවතින ව්‍යවහාර භාෂාවේ ඇති කථා විලාශයන් අනුව ලියූ දේ මින් අවුරුදු සියයකට පසුව ඇති වන පාඨකයන්ට අවබෝධ කර ගැනීමට නොහැකි වීමට පුළුවන. දැනට පවතින කථා විලාශයන් එකල වන විට අභාවයට ගොස් තිබීමට පුළුවන.

                   තවද භාෂා ඛණ්ඩ කිහිපයක් ඇති වීම සිංහලයන් අතර බෙදීමක් ඇති වී ජාතික එක් සත්කමට හානිදායක බලපෑමක් ඇති කිරීමට ද පුළුවන. ජාතියක් එක්සත් කිරීම පිණිස භාෂාවක් දරන බලය අනෙක් සියලු සාධකවල බලය ඉක්ම වන්නකි.

                 සමහර ලේඛකයෝ තමන් නව මගක් ගත් බව පෙන්වීම පිණිස ද, තමන්ගේ පාණ්ඩිත්‍යය පාඨකයන්ට පෙන්වීම පිණිස ද භාවිතයේ නොමැති වචන පාවිච්චි කරමින් තමන්ට ම විශේෂ වූ ශෛලියකින් ලියති. මෙම උපනතිය මෙසේම පැවතුන හොත් පදික වේදිකාවල සහ මුඩුක්කුවල භාවිත වන අච්චාරු භාෂාව පවා ලේඛන කටයුතු වලදී භාවිත වීමට අවකාශ ඇත. සිනමාවට හා විද්‍යුත් මාධ්‍ය වලට මෙය දැනටමත් ඇතුළු වී ඇත. භාෂාවක දියුණුවට අහිත කර වූ මේ විවිධත්වය නැති කරලීම සම්මත සිංහලයක් ඇති කිරීමෙන් පුළුවන් වෙයි.

                  ශාස්ත්‍රීය හා අධ්‍යාපන කටයුතු සඳහා ද, කාර්මික හා විද්‍යාත්මක කටයුතු සඳහා ද පාලනමය සහ අධිකරණමය කටයුතු සඳහා ද විවිධ ප්‍රභේද වලින් යුක්ත වූ වර්තමාන සිංහලය භාවිත කිරීම වලින් යුත් භාෂාවක් ඉතා අපහසු ය. මේ කටයුතු සඳහා නියත ලක්ෂණ හෙවත් සම්මත භාෂාවක් අත්‍යවශ්‍ය ය. භාෂාවේ විවිධත්වය සාහිත්‍ය විචාරකයන් අගය කරන්නක් වුවත් භාෂා පරිවර්තකයන් සහ කාර්යාලයීය ලිපිකරුවන් මහත් හිසරදයක් ලෙස සලකන්නකි.

              සිංහල මවු භාෂාව ලෙස ව්‍යවහාර නොකරන ශ්‍රී ලාංකිකයන්ට ද සිංහල ඉගෙනීමට සිදු වනු ඇත. සමහර විදේශිකයෝ ද සිංහල ඉගෙනීමට උනන්දුවක් දක්වති. මෙවැනි අයට ප්‍රභේද කිහිපයකින් යුත් භාෂාවක් ඉගෙන ගැනීම ඉතා අපහසු ය. නිල වශයෙන් පිළිගත් යම් සම්මත ව්‍යවහාරයක් ඇතොත් එය ඉගෙනීම පහසු වෙයි.

                   සම්මත සිංහලයක් ඇති කිරීම ලේඛකයන්ගේ සිතුම් පැතුම් සහ නිවහල් අදහස් පැහැදිලි ලෙස ප්‍රකාශ කිරීමට ඇති අවස්ථාව සීමා කිරීමට හේතු වේ දැයි බියක් පවතියි. නිදහස් ලෙස දියුණු වූ භාෂාවකට සීමා නීති පැනවීම අදහස් ප්‍රකාශ කිරීමේ ශක්තියට වැට බැඳීමක් වැනි ය. එහෙත් දක්ෂ ලේඛකයන්ට එක්තරා සීමාවක් ඇති භාෂාවක් උපයෝගී කර ගනිමින් වුව ද පැහැදිලි ලෙස අදහස් ප්‍රකාශ කිරීමට බැරි කමක් නොමැත. සංස්කෘත, මැන්ඩරින් හෙවත් ශාස්ත්‍රීය චීන, ඉංග්‍රීසි, ජර්මන්, ප්‍රංශ යන ඉතා දියුණු භාෂාවලට ද එක්තරා සම්මතයක් පදනම් කරගෙන පැන වූ සීමා නීති ඇත. එහෙත් එම භාෂා වලින් ලියන්නන්ට ඒ සම්මතය බාධකයක් වී නොමැත. සිංහලපිළිබඳ තත්වය ද මෙයට සමාන නිසා සම්මත සිංහලයකට විරුද්ධ ව දක්වන මේ තර්කය පිළිගැනීමට නුපුළුවන.

                      විවිධ ප්‍රභේදයන්ට අනුව හැඩ ගැසුණු විවිධත්වය භාෂාවක දියුණුවේ ලක්ෂණයකි. සම්මත සිංහලයක් ඇති කර, මේ විවිධත්වය නැති කර දැමීම භාෂාවේ දියුණුව මරා දැමීමක් වැනි යැයි තර්ක කිරීමට පුළුවන.

                      අධ්‍යාපන ප්‍රතිපත්තිය, ඉඩම් ප්‍රතිපත්තිය, ආනයන ප්‍රතිපත්තිය, කාර්මික ප්‍රතිපත්තිය වැනි දේශපාලන ප්‍රතිපත්තියක් බවට සම්මත සිංහලය පත් වීමට ද බැරි නැත. ආණ්ඩු පෙරළි සමඟ සම්මත සිංහලය ද වෙනස් කරන්නට ගිය හොත් එය විහිළුවක් වනු ඇත.

                      සම්මත සිංහලය පමණක් පාවිච්චි කළ යුතු යැයි නීති පැන වුව ද ඒ නීති කඩ කරන්නන්ට දඬුවම් පැමිණවීමට පුළුවන්කමක් නොමැත. නීති කඩ කිරීමේ මානසික තෘප්තිය තකා ම මේ නීතිය කඩ කරන්නට ලේඛකයන් සමහරෙකු පෙළඹෙනු ඇත. නීතියෙන් හැසිරවීමට නුපුළුවන් දෙයකට නීති පැනවීම නීතිය විහිළුවක් වීමට හේතු වෙයි. භාෂාව නීති මගින් හෝ ආණ්ඩුවක් මගින් සෑදීමට පුළුවන් දෙයක් නොව භාවිතය මගින් පමණක්ම සැදෙන්නකි. එහෙත් ආණ්ඩු මගින් සාදනු ලැබූ භාෂා ලෝකයේ තිබේ. හින්දි හා උර්දු භාෂා උදාහරණයන් ය. අවුරුදු දෙදහසකට පෙර මිය ගිය හීබෲ භාෂාව ද ඊශ්‍රායෙල් රජය විසින් යළිත් භාවිතයට ගන්වනු ලැබුයේ නීති මගින් බල කිරීමෙනි. 

                    සම්මත සිංහලයක් සාර්ථක ලෙස පැටවිය හැක්කේ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ සිටින ළමුන් වෙතය. මේ නිසා බාල පරම්පරාව සම්මත සිංහලයෙන් ලිවීමට ද, සෙස්සවුන් පුරුදු පරිදි ලිවීමට ද හුරු වීමෙන් සිංහල ලේඛන කලාව අවුල් වීමට ඉඩ ඇත. සම්මත සිංහලය පමණක් දන්නා පාසල් ළමුන්ට ඒ භාෂාවට අනුකූල නොවී ලියන ලද පොත් පත් කියවා තේරුම් ගැනීමට ද අපහසු විය හැකි ය. දැනට පළ වී ඇති සියලු පොත් පත් සම්මත සිංහලයට පෙරළීමට එවිට සිදු වේ. මේ ප්‍රායෝගික අපහසුකම් දීර්ඝ කාලීන වැඩ පිළිවෙළක් මගින් ජය ගැනීම ආණ්ඩුවකට හෝ ජාතියකට අවශ්‍යකමක් ඇතොත් බැරි වන්නේ නැත.

1 Comments

Post a Comment

Previous Post Next Post