ප්‍රබන්ධ සාහිත්‍ය තුළ පැනෙන තුන්වන ප්‍රබන්ධ අවධිය

 ප්‍රබන්ධ සාහිත්‍ය තුළ පැනෙන තුන්වන ප්‍රබන්ධ අවධිය වූ

නවකතාව

       නවකතාව යනු  ගද්‍යමය ප්‍රබන්ධයකි. එය කිසියම් කතා වස්තුවක රාමුවක් තුළ සිදුවන අවස්ථාවන්ගේ හා චරිතයන්ගේ නිරූපණයක් වේ.

ඒ අනුව,

  • චරිත හා අවස්ථා නිරූපණය
  • ප්‍රබන්ධ හෙවත් කල්පිත කතාන්තර ස්වරූපය
  • ගද්‍ය ලේඛනයක් වීම

යන අංග වර්තමාන නවකතාවේ මූලිකාංග වශයෙන් හඳුනාගත හැකි ය. ලෝක සාහිත්‍ය ඉතිහාසය දෙස බලන විට සංකල්පනාත්මක හෙවත් කල්පිත ප්‍රබන්ධ කරණයේ තුන්වන අවස්ථාව සේ ගැනෙන්නේ නවකතාව ය. ප්‍රථමව බිහිවූයේ වීර වීරකාව්‍ය වේ. ඉන්දියාවේ ව්‍යාස සෘෂීන් විසින් විරචිත සේ සැලකෙන මහා භාරතයත්, වාල්මිකී සෘෂීන් විසින් රචිත රාමායනයත්, ග්‍රීසියේ හෝමර් විසින් පබඳින ලද යි සැලකෙන ඉලියඩ් හා ඔඩිසි යන මහා කාව්‍යයන් ප්‍රබන්ධ සාහිත්‍යයේ මුල් අවස්ථා සේ හඳුනා ගෙන ඇත. ඉන් අනතුරුව පැමිණියේ ප්‍රේම කාව්‍ය යයි සැලකේ.
       
          මේ අනු සරින් ලෝකයේ ප්‍රබන්ධ සාහිත්‍ය තුළ පැනෙන තුන්වන ප්‍රබන්ධ අවධිය ලෙස නවකතාව බිහිවිය.  අලුත් ප්‍රබන්ධකරණය නවකතාව සේ හැඳින්වීමට පටන් ගැනිණි. එය නවල් හෙවත් (Novel) නවකතාව වනුයේ අලුත් යන අරුතිනි. ඉංග්‍රීසි බසට එම පදය එක් වන්නේ ලතින් Novellus යන වදනිනි. පුනර්ජීවන යුගයේ මුල් අවධියේදී මෙම වදන වහරට එන්නේ අලුත් කතාන්තරය යන අරුත සහිතව ය. සුප්‍රකට ඉතාලි ජාතික ජියෝවන්නි බොකාෂියෝ විසින් ලියන ලද ද කැමරන් කෘතිය හඳුන්වා දෙන ලද්දේ නොවෙලා යන වදනිනි.  දි කැමරන් කතන්තර ඉංග්‍රීසි බසට නැගීමත් සමග Novel යන පදය ඉංග්‍රීසි බසෙහි වහරට පැමිණියේ ය. ගද්‍යයෙන් කියවන ප්‍රබන්ධ කලා විශේෂයක් ලෙසට නවකතාව  ලෝක සාහිත්‍ය වහරට එක් වන්නේ එලෙසිනි. ගන්ධයෙන් කරන ලද කල්පිත ප්‍රබන්ධ රචනය පුරාණ ලෝකය පුරාම පැතිරී යයි. ඉන්දියාවේ දී නව කතාවේ පෙරගමන්කරු සේ හඳුනාගත හැකි වන්නේ හයවන සියවසේ අපර භාගයේ විසූ සංස්කෘත පඬිවරයකු වන  දණ්ඩීන් විසින් විරචිත දශකුමාර චරිතය යි. බොහෝ සාහිත්‍ය විද්වතුන් විසින් සැබෑම මුල්ම නවකතාව ලෙස සලකනු ලබන ගෙංජි  කතාන්තරය ජපන් ජාතික කතුවරියක වන මුරසකි ෂිකිබු ආර්යාව විසින් 11 වන සියවසේ දී ලියනු ලැබිණි.

        ශ්‍රී ලංකාවේ සිංහල පාඨකයන්ට නවකතාව නමැති කලා මාධ්‍යය පිළිබඳව පළමු වරට දැනගන්න ලැබෙන්නේ 19 වැනි සියවසේදී ය. ආදි ම සිංහල නවකතාකරුවන්ට ස්වකීය මාධ්‍ය අවබෝධ කරගැනීමට කර ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිණ. එසේ ම සිංහල පාඨක ජනයාට ද  නවකතා මාධ්‍ය වටහා ගැනීමට මහත් ව්‍යායාමයක් යෙදීමට සිදුවිය. මුල් ම සිංහල නවකතා කරුවෝ ඉංග්‍රීසි නවකතාවේ ස්වරූපය ඒ හැටියෙන්ම අනුකරණය කිරීමට අසමත් වූහ. කෙසේ වුව ද සිංහල නවකතාවේ විකාශනය ගැන සිතා බලන විට මුල් ම අවධිය පහළ වූ නවකතාකරුවන්ගේ ඉමහත් සේවයක් සිදු වූ බව නම් පැහැදිලිය. සිංහල නව කතාවේ වර්තමාන ස්වරූපයෙහි මූල බීජය දක්නට ලැබෙන්නේ 1905 වසරේදී අලුත්ගමගේ සයිමන් ද සිල්වා විසින් පළ කරන ලද මීනා නමැති කෘතිය ත ව පියදාස සිරිසේන ඩබ්ලිව් ඒ සිල්වා , ඩබ්ලිව් ඒ සිල්වා, මාර්ටින් වික්‍රමසිංහ,කේ. ජයතිලක ආදි කර්තෘවරුන් ඔස්සේ නව කතාවේ ගමනාරම්භය සනිටුහන් විය.



       නවකතාව පිළිබඳ ගැඹුරු ශාස්‌ත්‍රීය විග්‍රහයන් සිංහල භාෂාවෙන් පළව ඇත්තේ අල්පයකි. නවකතා විග්‍රහය කෘතියේ කතුවරුන් ද දක්‌වා ඇති පරිදි මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ සිංහල නවකතා ඉතිහාසය හා විචාරය, සරච්චන්ද්‍ර වික්‍රමසූරියගේ නවකතා විවරණය, මහාචාර්ය ඒ. වී. සුරවීරගේ නවකතා නිර්මාණය හා අවබෝධය ඉන් ප්‍රධානයි. මේ ග්‍රන්ථ පළවී දශක කිහිපයකි. ඒ අතරතුර නවකතාව අරභයා විවිධ පතපොත පළවුවද විවිධ සංවාද කතිකා දියත් වුවද මේ සාහිත්‍යාංගයේ සියලු පැතිකඩ පිළිබඳව - විශේෂයෙන්ම එහි වර්තමාන හැඩතල පිළිබඳව විවිධ දෘෂ්ටිකෝණවලින් විමසා බැලෙන ගැඹුරු විවරණයක අවශ්‍යතාව පැවතිණි.

          චරිත, කතා වින්‍යාසය, සංස්‌තිථිය, පසුතලය, පසුබිම, තේමාව, ඉෂ්ටාර්ථය, සංකේත හා සංකල්ප රූප, භාෂණය හා දෙබස්‌ යන තේමා යටතේ මේ හැඩතල විවරණය කෙරේ. නවකතාවේ ස්‌වතන්ත්‍ර ලක්‍ෂණ විමසීමේදී කතුවරු ප්‍රබන්ධනාත්මක පරිස්‌ථිතිය කෙරේ විශේෂ අවධානයක්‌ යොමු කරති." ප්‍රබන්ධනාත්මක පරිස්‌ථිතියේ විශේෂත්වය කොපමණ වැදගත් වේද යන්න හොඳින් පැහැදිලි වන්නේ නවකතාවක්‌ නාට්‍යයකට හෝ චිත්‍රපටයකට නැඟීමේදීය. ජෝශප් කොන්රඩ් ඔහුගේ කෘති කිහිපයක්‌ම නාට්‍යයට ගන්නට උත්සාහ කළ බවත් ඒ හැම අසාර්ථක වූ බවත් විචාරකයෝ පවසති. එයට මූලික හේතුව වන්නේ නාට්‍යය ප්‍රබන්ධනාත්මක නොව නාට්‍යාත්මක වීමයි. මේ වෙනස නවකතාවකින් ප්‍රතිනිර්මාණය වන චිත්‍රපටයක ද දැකගත හැකියි." නවකතාංග විවරණයේ අනෙක්‌ වැදගත් ලක්‍ෂණය වනුයේ නිදර්ශන දේශීය නවකතාවෙන්ම උපුටා දැක්‌වීමයි. මේ නිසා පෙරදිග අපරදිග සිද්ධාන්ත අපගේ නවකතාව විෂයයෙහි බලපාන ආකාරය පිළිබඳ විද්‍යාර්ථීන්ගේ දැක්‌ම පුළුල් වෙයි.

27 Comments

Post a Comment

Previous Post Next Post